Friday, April 19, 2024

General line - 0115112241

පොලිසියේ 31500කට උසස්වීම් ලැබෙන්න යයි




පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතිනවා.

85,000 කට අධික කාර්ය මණ්ඩලයෙන් යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිනවා. 

මෙම කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් බහුතරයක් වන පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා 2019 වසරේ මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුවේ පත්කිරීම්, උසස් කිරීමේ හා විනය කටයුතු භාර පොලිස් කොමිෂන් සභාවේද නිර්දේශ ඇතිව මෙම ඉල්ලීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණා.

රාජ්‍ය අංශයේ  සියළු සේවාවන් සඳහා වැටුප් ඇතුළු කාර්ය මණ්ඩල හා බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරෙනවා. ඒ අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදි.

පොලිස් දෙපාර්තමේන්තුවේ  පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීම සඳහා මුදල් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීයැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය බවද මින් පෙන්වා දෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් හට පොලිස් පරීක්ෂක දක්වා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලකින් තොරව උසස්වීම් ලබාදීමේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන තිබෙනවා. 

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය බැවින් ඒවා ලබාදෙන ලෙස වැටුප් කොමිසම විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජුනි මස ඉදිරිපත් කරන ලද ලිපියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවද පෙන්වා දෙනවා.

රජය විසින් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීම සඳහා දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති තොරතුරු ලැබුණු වහාම වැටුප් කොමිසමේද නිර්දේශ සහිතව 31,000 කට අධික පොලිස් නිලධාරීන් හට උසස්වීම් ලබාදීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබාදුන් වහා ක්‍රියාත්මක කළ හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.