Friday, April 26, 2024

General line - 0115112241

ටෙස්ට් වාර්තා අලුත් කළ ශ්‍රී ලංකාව ලෝක ශූරතාවයේ අංක එකට

තරංග රුක්ෂාන් ජයසේකර




ගාල්ල ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) ලැබූ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය සමඟ නව වාර්තා රැසක් බිහි වී තිබෙනවා. මෙම තරගය ඇතුළත් වුණේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියටයි. තරගය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 60ක උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි වුණා.

මේ දක්වා උපරිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ එකම කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි. එමෙන්ම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට ද ශ්‍රී ලංකාවට හැකි වුණා. ආසියානු කණ්ඩායමක් ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය ද මෙයයි. 

ජයග්‍රහණයේ නියමුවා වෙමින් ලකුණු 122ක් රැස් කළ දිමුත් කරුණාරත්න නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 03වන ටෙස්ට් ජයග්‍රහණය ද මෙය වනවා. එමෙන්ම දිමුත් කරුණාරත්න සිව්වන ඉණිමේදී රැස් කළ ශතකය ද වාර්තා රැසක් අලුත් කර තිබෙනවා.

සිව්වන ඉණිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ 03වන ආරම්භක පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වූ අතර ඒ අතරින් ජයග්‍රාහී ඉණිමක් ක්‍රීඩා කළ පළමු පිතිකරුවා ද ඔහුයි. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ තරගයක දෙවන ඉණිමේදී ශතකයක් රැස් කළ සිව්වන පිතිකරුවා බවට පත්වීමට ද දිමුත් කරුණාරත්නට අද හැකි වුණා. මෙම වසරේදී ටෙස්ට් තරගයක සිව්වන ඉණිමක ශතකයක් රැස් කළ 03වන පිතිකරුවා වන්නේද ඔහුයි. 

අද තරගයේදී කඩුලු 04කට ලකුණු 268ක් හඹා ගොස් ජයගත් අතර එය සටහන් වූයේ ශ්‍රී ලංකාව ජයගත් ටෙස්ට් තරගයක සිව්වන ඉණිමේදී රැස් කළ 05වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මෙම තරගයේදී දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 161ක සබඳතාවක් ගොඩනැඟුවා. එය සටහන් වූයේ ආසියාවේදී කිසියම් කණ්ඩායමක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් රැස් කළ වැඩිම 03වන ලකුණු සංඛ්‍යාවේ සබඳතාව ලෙසයි. 

මේ අතර සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 22වනදා කොළඹදී පැවැත්වෙනවා.