Friday, April 19, 2024

General line - 0115112241

නව සන්ධානය මේ මස 31ට පෙර අනිවාර්යයෙන් බිහිකරන බව එජාපෙ ප්‍රබලයෙක් කියයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මේ මස 31 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු සඳහන් කළා. නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ සිය සන්ධානයේ අපේක්ෂකයා ද, මේ මස අවසන් වීමට පෙර රටට හෙළි කරන බවයි. නව සන්ධානය සහ අපේක්ෂකයා නම් කිරීම එකම දිනක සිදු කරන බව ද අදාළ අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

නව සන්ධානයක් ගොඩනැගීමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා පැවැති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වුණා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ නව සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීමට එහිදී හැකිවූ බවයි.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ලද යෝජනා ද එහිදී සැලකිල්ලට ගත් බව ඔහු කියා සිටියා. නව සන්ධානයේ තනතුරු බෙදී යා යුතු ආකාරය පිිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (18) පස්වරුවේ පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කළේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් සියලු දෙනා සමගි වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. 

කොත්මලේ පළාතේ ප‍්‍රධාන සංඝ නායක ධූරයට පත්වූ පූජ්‍ය කහත්තේවල චන්ද්‍රජෝති හිමියන්ගේ පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ නිදහසින් පසු රට ආපස්සට ගමන් කළ බවයි.  

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි. පස්වරු 04.00 ට අරලියගහ මන්දිරයේදී රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.