Friday, April 19, 2024

General line - 0115112241

මංගල උත්සව ප්‍රහාරයේ වගකීම පාකිස්තානය පිටට - පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති විවාහ මංගල්‍යයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසනවා.

ඔවුන් මේ බව පැවසුවේ අදාළ ප‍්‍රහාරය සිදු කළේ සිය සංවිධානයේ සාමාජිකයෙකුව සිටි පාකිස්තාන ජාතිකයෙකු විසින් බව අයි. එස්. සංවිධානය ප‍්‍රකාශයට පත් කිරීමත් සමගයි. අයි. එස්. සංවිධානය මෙලෙස අදාළ ප‍්‍රහාරයේ වගකීම භාර ගැනීමෙන් පසු ජාත්‍යන්තරයෙන් පාකිස්තානයට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. 

කෙසේවෙතත් පාකිස්තානය ත‍්‍රස්තවාදය සඳහා සම්පූර්ණයෙන් විරුද්ධ බව පාකිස්තාන රජය ප‍්‍රකාශ කළා. සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලේ වැගිරීම් සිය රට කිසිඳා අනුමත නොකර බවයි පාකිස්තානය ප‍්‍රකාශ කළේ. ත‍්‍රස්තවාදය යනු ගෝලීය අර්බුදයක් බවත්, සියලු රටවල් එකට එක්ව එය පරාජය කළ යුතු බවත් පාකිස්තාන රජයේ මතයයි.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තාන ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට මෙලෙස චෝදනා එල්ල වන්නේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආධාර අනුබල ලබා දෙන බවට ඉන්දියාව ද පාකිස්තානය වෙත දිගින් දිගටම චෝදනා එල්ල කරමින් ඇති පසුබිමක් තුළයි. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පැවැති විවාහ උත්සවයකට එල්ල වූ අදාළ ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.