Tuesday, April 23, 2024

General line - 0115112241

එජාපයේ අපේක්ෂකයා තෝරන්න අභ්‍යන්තර ඡන්දයක් පවත්වන්නැයි යෝජනාවක්




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අභ්‍යන්තර ඡන්දයකින් තෝරා ගන්නැයි ඉල්ලමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (19) ලිපියක් භාරදී තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමක දී මෙම ඡන්ද විමසීම සිදු කරන ලෙසද එමඟින් යෝජනා කර තිබෙනවා. 

" මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඉක්මනට කැඳවලා දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාත් යහපත් ප්‍රතිචාර දැක්වුවා. අගමැතිවරයා කියා සිටියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඒ සම්බන්ධව කටයුතු කරමු කියලා" මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ නැවත රැස්වුණා. ඒ, අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ ද මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූවා. ඒ, පවතින ගැටළු අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවකින් විසඳා ගැනීම වඩාත් සුදුසු බවද පෙන්වා දෙමින්. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ " සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ එතුමන් ජනාධිපතිවරණයට එන බවට තමන් ඒ සඳහා තමන් සුදානම් කියා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අවස්ථා කිහිපයකදී කියා තිබෙනවා එතුමන් ජනාධිපතිවරණයට තරග කරන්න සුදානම් කියලා. හොදම දේ තමයි අගමැතිවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒ ගැන සාකච්ජා කරලා තීරණයක් ගන්න එක. ඒ පිළිබඳව යම් එකඟතාවයකට එන්නේ නැත්නම් මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්ජා කරලා හොද තීරණයකට එන්න පුළුවන් කම තිබෙනවා".

එක්සත් ජාතික පක්ෂයේ පවතින මතභේද පිළිබඳ මාධ්‍යවේදීන් අද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරාගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කළහොත් එම උත්සහය පරාජය කරන බවයි.