Thursday, April 25, 2024

General line - 0115112241

රාජිතගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී අකිලගේ නම යෝජනා වේ

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානයේ ලේකම්වරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නව සන්ධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ ඉකුත්දා පැවති සාකච්ඡාවේදීයි මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ. 

අමාත්‍ය මංගල සමරවීර විසින් පළමුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නම, ලේකම් ධුරය සඳහා යෝජනා කර තිබෙනවා. එහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද කැපී පෙනෙන වැඩ කොටසක් සාර්ථකව ඉටු කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට හැකි වී තිබෙන බවයි. 

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය ලබන 31වැනිදාට පෙර පිහිටුවීම සඳහා වූ එකඟතාව සහිතව මෙම සාකච්ඡාව අවසන් වූ බවයි දේශපාලන ආරංචි මීට පෙර කියා සිටියේ. 

මේ අතර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සිය සහය ලබාදීමට නම් පළමුව එක්සත් ජාතික පක්ෂයේ ඇති අභ්‍යන්තර මත ගැටුම් විසඳා ගන්නැයි පාර්ශ්ව කිහිපයක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.

රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පී දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් මේ අතර සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

යෝජිත නව සන්ධානයේ අපේක්ෂා ඉටුකර ගත හැක්කේ ද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුම් කඩිනමින් විසඳා ගතහොත් පමණක් බව ඔවුන් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. මෙම අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.