Saturday, April 20, 2024

General line - 0115112241

ලසන්ත සහ තාජුඩීන් සිද්ධි ආණ්ඩුවට යළිත් හදිසියේ මතක්වීමෙන් තහවුරු වන තවත් පැත්තක් ගම්මන්පිල පෙන්වයි

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමෙන් ඔහුට ඇති ජන බලවේගය යටපත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. එවැනි සිරගත කිරීමකින් සිදුවනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ඇති ජන බලවේගය තවත් ශක්තිමත් වීම බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ වසීම් තාජුඞීන් ඝාතනය ඇතුළු විමර්ශන කිහිපයක් කඩිනම් කිරීමට ආණ්ඩුව හදිසියේ කටයුතු කරමින් සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමේ උත්සහයක් සඳහා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මීට පෙර කියා සිටියා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ වැඩිදුර විමසීමකදීයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ වසීම් තාජුඞීන් ඝාතනය ඇතුළු විමර්ශන ආණ්ඩුවට යළිත් හදිසියේ සිහිපත් වීමෙන් තහවුරු වන තවත් කරුණක් පිළිබඳව ද උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

"අපිටත් මුලින් පොඩි සැකයක් තිබුණා ජනාධිපතිවරණය පවත්වයිද නැද්ද කියලා. නමුත් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ වසීම් තාජුඞීන් ඝාතනය ඇතුළු විමර්ශන පිළිබඳ මාධ්‍යවල යළිත් තොරතුරු වාර්තා කරද්දි අපිට දැන් නම් පැහැදිළියි ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනවයි කියලා."

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලියන ලද ලිපියකින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග ඉකුත්දා කියා සිටියේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර හතර හමාරක් තිස්සේ නොසලකා හැරුණු බවයි. එම විමර්ශන එලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සමාව ගත යුතු බවද අහිම්සා වික‍්‍රමතුංග සිය ලිපියෙන් ප‍්‍රකාශ කර තිබුණා.