Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති සමග කිහිපවරක් සාකච්ඡා කළ එජාප පසුපෙළ මන්ත්‍රිවරු සජිත් හමුවෙන්න යයි

දිල්ශාන් තුෂාර




ජනාධිපතිවරණයට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමග අද (20) සාකච්ඡාවක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ කියා සිටියේ "මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කිහිප වාරයක්ම සාකච්ඡා කළා.  නිර්මාණය වෙලා තියෙන තත්ත්වය උඩ එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් කරා යෑමට හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. ඒකේ තවත් පියවරක් විදිහටයි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාකච්ඡා කරන්නේ. පේන ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගන්නයි සූදානම් වෙලා ඉන්නේ." යනුවෙනි. 

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර සාකච්ඡාව අද පැවැත්වෙන්නේ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් අග‍්‍රාමාත්‍යවරයා වෙත ඊයේ භාරදුන් ලිපියකින් යෝජනා කර තිබුණේ ජනාධිපති අපේක්ෂකයා අභ්‍යන්තර ඡන්දයකින් තෝරාගන්නා ලෙසයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමකදී මෙම ඡන්ද විමසීම සිදු කරන්නැයි ද එමගින් යෝජනා කර තිබුණා. ලිපියට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් ලිපිය අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදුන්නේ කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් විසින්.