Friday, April 19, 2024

General line - 0115112241

අකිලට යළිත්  පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීම් ඉරියව් සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යළි චෝදනා එල්ල කර තිබෙනවා. 
නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ගේද පන්දු යැවීම් ඉරියව් සැක සහිත බවටයි එම කවුන්සිලය චෝදනා එල්ල කර ඇත්තේ. 

ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මොවුන් දෙදෙනාට මෙම චෝදනාව එල්ල කර තිබෙනවා. 

ඒ අනුව අකිල ධනංජය සහ කේන් විලියම්සන් දින 14ක් ඇතුළත සිය පන්දු යැවිම් ඉරියව් පිළිබද පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. 

අකිල ධනංජය ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිමේදී ලකුණු 80කට කඩුලු 5ක් දවා ගැනීමටද සමත් වුණා. 

අකිල ධනංජයගේ පන්දු යැවීම් ඉරියව් සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා. පළමු චෝදනාවෙන් පසු ඔහු පරීක්ෂණයකට පෙනී සිටි අතර එහිදී ඔහුගේ පන්දුයැවීම් ඉරියව් නීත්‍යානුකූල බව තහවුරු වුණා. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියට එක්වන නවසීලන්ත සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ ටිම් සවුතියි. නිත්‍ය නායක කේන් විලියම්සන් සහ බෝල්ට් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබෙනවා. 

දෙරට අතර පළමු පන්දුවාර විස්ස තරගය ලබන මස පළමුවැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.