Friday, March 29, 2024

General line - 0115112241

SB ගේ පැමිණිල්ලක් නිසා ආයුධ සොයා පොලිසිය අමාත්‍ය රිෂාඩ්ගේ නිවස සෝදිසි කරයි 




අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ට අයත් පුත්තලම, ටිල්ලඅඩි නිවස පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) විශේෂ සෝදිසියකට ලක් කර තිබෙනවා. ඒ අමාත්‍යවරයාගේ නිවසේ අවි ආයුධ සඟවා ඇති බවට ලද පැමිණිල්ලක් මතයි.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු පැමිණිලි භාර ගැනීමට සඳහා පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර තිබු විශේෂ කමිටුව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක විසින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිල්ලක අන්තර්ගත කරුණු අනුව මෙම සෝදිසිය සිදුකළ බවයි පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බි. දිසානායක සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ පුත්තලමේ පිහිටි නිවසේ අවි ආයුධ සඟවා ඇති බවයි. 

එම පැමිණිල්ලේ සඳහන් කරුණු අනුව පොලිස් මුල්‍ය විමර්ශන ඒකකය විසින් පුත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම සෝදිසි මෙහෙයුම ඊයේ දින සිදුකර ඇති අතර එහිදී කිසිදු අවි ආයුධයක් සොයා ගැනීමට නොහැකිවූ බවයි පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.