Wednesday, April 17, 2024

General line - 0115112241

බ්‍රසීලය අඳුරට හරවමින් ලොව සුන්දර "ඇමේසන් වනාන්තරය" විනාශයේ අභිමුඛයට (PHOTOS )

දිනුක් හේවාවිතාරණ




ලොව ප්‍රධානතම වැසි වනාන්තරවලින් එකක් වන ඇමසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාවකට ආසන්න සත්වයින් සහ දුර්ලභ ඝණයේ ශාඛ විනාශ වෙමින් පවතින බව පරිසරවේදීන් පවසනවා. 2019 වර්ෂයේ ආරම්භය පටන් මේ දක්වා ගිනි ගැනීම් 72,000ක් පමණ වාර්තා වී ඇති අතර පසුගිය සතියේදී පමණක් ගිනි ගැනීම් 9,500ක් වාර්තා වූ බවයි බ්‍රසීල අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානය සඳහන් කර සිටින්නේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි අභ්‍යවකාශයේ සිට ද නිරීක්ෂණය කළ හැකි බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ නවතම දත්ත නිරීක්ෂණයට අනුව බ්‍රසීලයේ වයඹ දෙසින් පිහිටි වැසි වනාන්තරයේ සිට අත්ලාන්තික් වෙරළ තීරයේ රියෝ ද ජැනෙයිරෝ දක්වා මෙම ලැව් ගිනි නිසා හටගෙන ඇති දුමාරය ගලා යන බවයි.

මෙම දුමාරය හේතුවෙන් බ්‍රසීලයේ විශාලතම නගරය වන සාඕ පාලෝ නගරය සම්පුර්ණයෙන්ම වැසි ගොස් ඇති බවයි. වාහන ධාවනය කිරීමේදී රියදුරන් රාත්‍රී කාලයේදී මෙන් විදුලි ලාම්පු දල්වාගෙන රිය පැදවීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අත්ලාන්තික් සාගරය හරහා හමාගෙන යන මෙම දුමාරයන් මේ වන විට බටහිර අප්‍රිකානු මහද්ධිවිපයේ සිට දැක ගත හැකි බවයි කාලගුණ විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර බ්‍රසීල ජනාධිපති ජෙයිර් බෝල්සානොර් ප්‍රකාශ කරන්නේ මෙම ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ගිනි ගැනීම් රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදුකර ඇති බවයි. ඒ හරහා එම සංවිධාන තමන්ට විවේචන එල්ල කිරීමේ සුදානමක් පවතින බව ඔහු කියා සිටිනවා.

කෙසේ වුවත් ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි පාලනය කිරීමට මේ වන විට හැකි සෑම උත්සාහයක්ම සිය රජය ගනිමින් සිටින බවයි බ්‍රසීල ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පරිසරවේදීන් ප්‍රකාශ කර සිටින්නේ සංවර්ධනය මුවාවෙන් සිදුවන වන විනාශය නිසා ලොව විශාලතම ජෛව විවිධත්වයකින් හෙඹි ඇමේසන් වනාන්තරයේ නුදුරේදීම ලොවට අහිමිවී යනු ඇති බවයි.