Friday, March 29, 2024

General line - 0115112241

එජාපයේ සජිත් පිළෙන් තවත් රැළියක් අද

කසුන් කැලුම්/ හර්ෂිකා සංජීවනි




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන පාර්ශව සංවිධාන කරන තවත් ජනරැළියක් මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර සංවිධාන කරන මෙම ජනරැළියට තමන් ද සහභාගී වන බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා මෙතෙක් නම් නොකිරීම සම්බන්ධයෙන් තමන් ද කණගාටුවෙන් පසුවන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිටින ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සුදුසුකම් සහිත පුද්ගලයින් වැඩිවීම එම ගැටලූවට හේතු වී ඇති බවයි.

ජයග‍්‍රහණයක් පෙනෙන මානයේ ඇතත් පක්ෂය සමඟි නොවුණහොත් ජය ගැනීම දුෂ්කර වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා. ඒ, අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීයි.

මේ අතර නව සන්ධානය කඩිනම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සියළු මන්ත‍්‍රීවරුන්ට අද රාත‍්‍රියේ භෝජන සංග‍්‍රහයකට ආරාධනා කර ඇති බවට ද වාර්තා පල වනවා.