Thursday, April 25, 2024

General line - 0115112241

හොර පාරෙන් ප්‍රංශයට යන්න ආ ඉරාන ජාතිකයින් දෙදෙනෙකුට සිදුවූ දේ (PHOTOS)

ටී.කේ.ජී.කපිල - කටුනායක




ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

වයස අවුරුදු 28ක තරුණියක් සහ 18 හැවිරිදි තරුණයෙක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි TK-730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබු බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පැමිණෙන බව පවසමින් මෙරටට පැමිණි ඔවුන් දෙදෙනා තමන් ප්‍රංශ ජාතිකයින් බව හඟවමින් දින කිහිපයක් මෙරට තුල දින කිහිපයක් ගත කිරීම සඳහා රට තුලට ඇතුළු වීමට මෙම ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර දෙක ගුවන් තොටුපලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කවුළුව වෙත ඉදිරිපත් කර තිබුනේ එම නිලධාරීන් නොමග යැවීම සඳහා බවයි හෙළිවී ඇත්තේ.

එහිදී ආගමන විගමන නිලධාරීන් මෙම ගුවන් ගමන් බලපත්‍ර දෙක සිය පරිඝණක පද්ධතියට යොමුකළ අවස්ථාවේදී ඒවා ජාත්‍යන්තර පොලිසියේ රතු දත්ත ලේඛණයට ඇතුලත්ව ඇති ඒවා බවට සඳහන් ව තිබී ඇත.

අදාළ බලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු කොළඹ පිහිටි ජාත්‍යන්තර පොලිසිය තොරතුරු කාර්යාංශය වෙතද යොමු කළ අතර එහිදී යම් විදෙස් රටකදී මෙම ගුවන් බලපත්‍ර අස්ථාන ගතවී ඇති බවත් ඒ ඇසුරින් මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසා ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපලේ පිහිටි දේශසිමා ආවේක්ෂණ ඒකකය වෙත මෙම ගුවන් ගමන් බලපත්‍ර යොමු කළ විටදී එහි තිබු ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර වල ඇති ජයාරූප වලට කිසියම් සමාන කමක් මෙම ඉරාන ජාතිකයින් දෙදෙනාට ඇති බැවින් ඔවුන් එය උපයෝගී කර ගනිමින් ප්‍රංශය වෙත පළා යෑමට උත්සහ දරා ඇති බව තහවුරුවී ඇත.

මේ අවස්ථාවේදී මෙම ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය ඇසුරෙන් මෙම ඉරාන ජාතිකයින් දෙදෙනාගෙන් ආගමන විගමන නිලධාරින් ප්‍රශ්න කිහිපයක් විමසා ඇති අතර එහිදී ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයේ ඉහළින්ම සටහන්ව ඇති "ප්‍රොන්සේ" යන වචනය ඉතා අපහසුවෙන් කියවා ගැනීමට ඉරාන ජාතික තරුණිය පමණක් සමත්ව තිබෙනවා.

 පසුව ආගමන විගමන බලධාරින් විසින් මෙම ඉරාන ජාතිකයින් දෙදෙනා ගේ ගමන් මලු පරික්ෂා කිරීමට පියවර ගෙන තිබු අතර එහි තිබී ඔවුන්ගේ සැබෑ ඉරාන ගුවන් ගමන් බලපත්‍ර දෙක සොයා ගැනීමට හැකිවී තිබෙනවා. තුර්කියේ සිට ශ්‍රී ලංකාව බලා ඒමට ඔවුන් යොදා ගෙන ඇත්තේ ඉරාන ගුවන් ගමන් බලපත්‍ර දෙක බවයි මෙහිදී හෙළිවී ඇත්තේ.

ව්‍යාජ ලෙස ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් උපයෝගි කර ගනිමින් නීතිවිරෝධී අයුරින් එම රටට ඇතුල්වීමට මෙම ඉරාන ජාතිකයින් දෙදෙනා උත්සහ දරා ඇති බව තහවුරුවීම නිසා ඔවුන් සතුව තිබු ව්‍යාජ ගමන් බලපත්‍ර දෙක කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන බලධාරීන්ගේ භාරයට ගැනීමට පියවර ගෙන තිබුනා.

පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තුර්කි ගුවන් ගුවන් සේවයේ TK- 730 දරන ගුවන් යානයෙන් ආපසු තුර්කියේ, ඉස්තාන්බුල් නුවර වෙත පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කර සිටියේ.