Wednesday, April 24, 2024

General line - 0115112241

හදිසි නීතිය ඉවත් කිරීම ත්‍රස්ත මර්ධනයට බාධාවක්ද ? නීතිවේදින් කරුණු කියයි

සජිත් තිලකරත්න/ සමන්ත කුමාර




හදිසි නීතිය ඉවත් කෙරුණද පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට නිදහස හිමි නොවන බව නීතිවේදීන් පවසනවා. හදිසි නීතිය ඉවත් කළද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකි බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ස්ථාන පරීක්‍ෂාව වැනි කරුණු සම්බන්ධයෙන් පොලීසිය නොමැතිව යුද හමුදාවට කි‍්‍රයාත්මකවීමට ඇති අවස්ථාව හදිසි නීතිය ඉවත් කිරීම මගින් අහිමි වන බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පෙන්වා දුන්නේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අන්තවාදී සංවිධාන 3ක් තහනම් සංවිධාන ලෙසට ප‍්‍රකාශයට පත් කෙරුණා. හදිසි නීතිය ඉවත් කිරීම හේතුවෙන් එම සංවිධානවල තහනම ඉවත් නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ. 

එමෙන්ම හදිසි නීතිය දීර්ඝ නොකිරීම හේතුවෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධාවක් නොවන බවද පොලීසිය පැවසුවා. 

මේ අතර මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ඉකුත් 22 වනදා සිට බලපැවැත්වෙන පරිදියි. එම ගැසට් නිවේදනය අනුව දිවයිනේ දිස්ති‍්‍රක්ක 24 ආවරණය වන පරිදි මහජන සාමය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ති‍්‍රවිධ හමුදාවට නියෝග කර තිබෙනවා.