Tuesday, April 16, 2024

General line - 0115112241

" ඇමේසන් ගින්න" අභ්‍යකාශ මධ්‍යස්ථානය හසුකර ගත් අයුරු : ඉදිරිය අවධානම් - පරිසරවේදීන් අනතුරු අඟවයි  (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි දිගින් දිගටම ව්‍යාප්තවෙමින් පවතින බව එරට බලධාරීන් පවසනවා. මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයා ගේ නියෝග අනුව 44,000ක යුධ හමුදා බල ඇණියක් මෙම ලැව් ගිනි වයාප්තවිම වැළැක්වීමේ අරමුණින් මෙහෙයුම් වලට එක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි සම්බන්ධයන් ගනු ලැබූ ජයාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඇතැම් ඒවා රාත්‍රී කාලයේදී ගනු ලැබූ අතර එම ජයාරූප වල තැඹිලි පැහැයෙන් දිස්වන්නේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි බවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ අතර ලැව් ගිනි පාලනය කිරීමට බ්‍රසීලයේ පරිසර සංගම් කිහිපයක් එක්වී තාවකාලික පදනමින් මුදලට ගිනි නිවීමේ නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ අතර බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඇමේසන් වනාන්තරයේ ලැව් ගිනි නිවා දැමීමට අවශ්‍ය සහය ලබාදීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් එරට තුල මෙන්ම විදෙස් රටවලද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

ඇමේසන් වනාන්තරය කේන්ද්‍ර කරගනිමින් ජිවත් වන ස්වදේශී ජනතාවගේ ගම්මානද මේ වන විට ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ 2010 වර්ෂයෙන් පසුව මේ වසරේදී වැඩි වශයෙන් ලැව් ගිනි වාර්තාවී ඇති බවයි. මේ වසරේදී මේ දක්වා ඇමේසන් වන්නාන්තරයේ පමණක් ලැව් ගිනි 75,000ක් පමණ වාර්තාවී ඇත.

මේ අතර ලොව විශාලතම ජලය රැගෙන යා හැකි බෝයිං 747 වර්ගයේ "සුපර් ටැන්කර්" වර්ගයේ ගුවන් යානයක් ද ඇමේසන් වන්නාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා එක් කර ඇති බව වාර්තා වෙනවා. එක් වර ජලය ලීටර් 70,000ක් රැගෙන ගුවන් ගතවන මෙම ගුවන් යානය මේ වන විට බොලිවියාවේ සාන්ත කෘස් ගුවන් තොටුපලේ සිට ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මිට අමතරව බ්‍රසීල ගුවන් හමුදාවට අයත් හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා මගින්ද ඇමේසන් වනාන්තරයේ ගිනි නිවීමට දායක කර ගෙන ඇත.

සමස්ත පෘථිවියේ සියයට 20 ක ඔක්සිජන් අවශ්‍යතාවය සපයනු ලබන ඇමේසන් වන්නාන්තරය ආරක්ෂා කර ගැනීමට ලොව සෑම දෙනා ගේ සහය ලැබිය යුතු බව ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් ඉදිරියේදී දැඩි කාලගුණික විපර්යාසයකට මුහුණ දීමේ අවධානමක් මතුවී ඇති බවයි.