Thursday, April 18, 2024

General line - 0115112241

හෙට කුලියාපිටියට ලැබෙන දේ (PHOTOS)




කුරුණෑගල දිස්ත්‍රික්කයේ , කුලියාපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සහ නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (31)  දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සඳහා වන මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 23,593ක් වේ.

මේ යටතේ කුලියාපිටිය, නාරංගල්ලේ දී රුපියල් මිලියන 3000ක මූල්‍ය ආයෝජන සහි‍තව තාක්ෂණවේදය සදහා ගුරුවරුන් පුහුණු කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල්ගල තැබීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම රුපියල් මිලියන 2,060 ක ආයෝජනයෙන් ඉදිකරන ලද වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය විවෘත කිරීම, රුපියල් මිලියන 17,650ක ආයෝජනයෙන් කුලියාපිටියේ මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට ඉදිවන ගොඩනැගිලි සඳහා සහ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ඔසුසල ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම ද මෙදින සිදුකෙරේ.

මීට අමතරව, කුලියාපිටිය බෝවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල් ගල තැබීම සහ ඉලුක්හේන බෙරි වැව කාපට් මාර්ගය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම, කුලියාපිටිය බස් නැවතුම්පල ඉදිරිපිට උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම ඇතුළු සංවර්ධන කාර්යයන් රැසක් මීට ඇතුළත්.