Saturday, April 20, 2024

General line - 0115112241

මහ කොමසාරිස්ට ද්‍රවිඩ සන්ධානයේ ප්‍රණාමය




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත එහි මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉකුත් දා ඉදිරිපත් කළ වාචික ප‍්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම සම්බන්ධයෙන් ඇති අවස්ථා හා අභියෝග මෙමගින් නිවැරදිව පෙන්වා දී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කටයුතු කරන්නේ මන්දගාමීව බවද දෙමළ ජාතික සන්ධානය පවසනවා.

 

හමුදා පාලනයේ තිබෙන පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම ප‍්‍රමාද වීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් භාවිතයේ තිබීම, එම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කිරීමට අදාළව ලබාදුන් පොරොන්දු කඩකිරීම සහ උතුර හා නැගෙනහිර යන පළාත්වල සිවිල් වැසියන් තවදුරටත් සෝදිසි කිරීම්වලට ලක්කිරීම පවතින ප‍්‍රධාන ගැටලූ කිහිපයක් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

මෙම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා එහි මානව හිමිකම් මහකොමසාරිස්වරයා අඛණ්ඩව මැදිහත් වීම සතුටට කරුණක් බවද දෙමළ ජාතික සන්ධානය පවසනවා.