Wednesday, April 24, 2024

General line - 0115112241

හොංකොං විරෝධතාකරුවන් ජනපති ට්‍රම්ප්ගේ සහය පතයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හොංකොං රජයට එරෙහිව 14 වන සතියටත් වීථි බැස සිටින එරට විරෝධතාකරුවන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහය අපේක්ෂා කරනවා. විදෙස් වාර්තා පැවසුවේ විරෝධතාකරුවන් දහස් ගණනක් පාගමනින්ම හොංකොංහි පිහිටි අමෙරිකානු කොන්සාල් කාර්යාලය වෙත පැමිණි බවයි.

අමෙරිකානු ධජය රැගත් ඔවුන් අමෙරිකානු ජාතික ගීය ද ගායනා කරමින් තමන්ට සහය දෙන ලෙසටත්, චීනයේ ආධිපත්‍යයෙන් හොංකොං රාජ්‍යය මුදා ගන්නා ලෙසත්, අමෙරිකානු රජයෙන් ආයාචනා කළා. එසේම ලබන සතියේ සාකච්ඡා මේසයට ගැනීමට නියමිත හෙංකොං මානව හිමිකම් සහ ප්‍රජාතාන්ත්‍රික යෝජිත පනත සම්මත කර ගන්නා ලෙසයි විරෝධතාකරුවන් මෙහිදී අමෙරිකාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

හොංකොං රාජ්‍යයේ නිදහස මර්දනය කිරීම සම්බන්ධයෙන් චීනය වගකිව යුතු බව එහිදී ඔප්පු වුවහොත් චීන බලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීමට ද අමෙරිකාවට හැකි වනු ඇති. 

කෙසේවෙතත් සිය රජයට එරෙහිව හොංකොං වැසියන් මෙලෙස අමෙරිකාවේ සහය අපේක්ෂා කරන්නේ හොංකොං අර්බුදයට මැදිනොවන්නැයි චීනය විදෙස් රටවලට අනතුරු ඇගවීම් සිදු කර ඇති පසුබිමක් තුළයි.