Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට එක් නොවන බව දැනුම් දෙයි

කසුන් කැලුම්




ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දස දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා එම තරග සංචාරයට එක් නොවන බව දැනුම්දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම සංචාරයට සහභාගි නොවීම හේතුවෙන් පාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළා.

එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.

.........................................................................................

ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් පස් දෙනෙක් පකිස්තානයට නොයයි : නායකත්වයට ළහිරු තිරිමාන්න පත් කරයි

(09-09-2019: 17:33)

ලබන සැප්තැම්බර් 25 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි නොවන බවට අද (09) දින නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේෂ්ඨ නිලධාරියෙක් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල පකිස්තාන තරග සංචාරය සඳහා එක් නොවන බවට අද ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බවයි එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එළැඹෙන පකිස්තාන තරග සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සැලසුම් සම්බන්ධයෙන් අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. ඒ සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සහභාගිවී සිටියා.

ඒ අනුව දිමුත් කරුණාරත්න පාකිස්තාන තරග සංචාරය සඳහා නොයෑමට තීරණය කර ඇති බැවින් කණ්ඩායමේ එක්දින නායකත්වයට ළහිරු තිරිමාන්න පත් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.