Thursday, March 28, 2024

General line - 0115112241

හමුදා බ්‍රිගේඩියර්වරයෙක් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිපති නඩු පවරයි

දිනුක් හේවාවිතාරණ




ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11) නඩු පවරනු ලැබුවා.

මෙම හමුදා සාමාජිකයින්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් අනතුරුව නීතීපතිවරයා විසින් මෙලෙස මහාධිකරණයේ නඩු පවරන ලදී.

මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් පත් කර ඇත.

2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී පැවති උද්ඝෝෂණයකින් අනතුරුව විසිර යමින් සිටි පිරිසකට පහරදී වෙඩි තැබීම අරමුණු කරගත් නිතී විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.