Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට පැහැදිළි කිරීමක්




යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඇතැම් රටවල් සහ ජාත්‍යාන්තර සංවිධාන කළ ප‍්‍රකාශ පිළිගත නොහැකි බව ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ද අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වන සැසිවාරය අමතමින් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් පෙන්වා දී ඇත්තේ, යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවයි. එවැනි තීරණ සම්බන්ධයෙන් සිදු වන බාහිර මැදහත් වීම් ස්වභාවික යුක්ති මූලධර්මයට ද පටහැනි බව මෙහිදී අවධාරණය කෙරුණා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මාස 04 ක් ඇතුළත රටේ ආරක්ෂාව නැවත තහවුරු කිරීමට ශී‍්‍ර ලංකාවට හැකි වූ බවයි මෙම කරුණු දැක්වීමේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ශී‍්‍ර ලංකාවේ හමුදාවන් මේ සඳහා පියවර ගත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලබා දී ඇති ප‍්‍රතිඥාවලට ද අනුකූලව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් පෙන්වා දුන්නා.

හදිසි නීතිය මාස 04 ක් ඇතුළත ඉවත් කිරීමටද, ජාත්‍යාන්තර රතු කුරුස සංවිධානයට රඳවා ගනු ලැබූ පුද්ගලයින් වෙත පූර්ණ ප‍්‍රවේශයක් තහවුරු කිරීමට ද ශී‍්‍ර ලංකාව කටයුතු කළ බවයි සිහිපත් කෙරුණේ.

වෛරී ප‍්‍රකාශ සහ ජන වාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට එරෙහි සියලූ ආකාරයේ අපරාධවලට විරුද්ධව සටන් කිරීමට ශී‍්‍ර ලංකාව තවදුරටත් කැප වී සිටින බව ද මෙහිදී අවධාරණය කෙරුණා.