Friday, March 29, 2024

General line - 0115112241

රක්ෂිත බන්ධනාගාර ගත කළ නාවික හමුදාවේ 12 දෙනාට ඇප හිමිවේ

දිනුක් හේවාවිතාරණ




අධිකරණ නියෝගයක් අනුව මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ නිලධාරින් දෙදෙනෙක් ඇතුළු නාවිකයින් 10 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කරනු ලැබුවා. 

පසුගිය අගෝස්තු මස 28 වෙනිදා පුල්මුඩේ මුහුදේ දී සැකකටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමට නාවික හමුදාව උත්සහ දැරූ අවස්ථාවේදී එම යාත්‍රාවේ සිටි පිරිස අණ නොතකා පලා ගොස් තිබුනා. මෙලෙස පළා යන යාත්‍රාව නතර කරන ලෙස දන්වා නාවික හමුදාව විසින් අවවාදාත්මක වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කරනු ලැබූ අතර පසුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රාවේ ගමන් කළ බව කියන මුස්ලිම් ජාතිකයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිසියට භාර දී තිබුණා.

මෙලෙස කුච්චවේලි පොලිසියට භාරදුන් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාරදීමෙන් අනතුරුව ඔවුන් රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළ අතර ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා රෝහලට ගොස් සිටි අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කර තිබුනේ නාවික හමුදාව විසින් තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පහරදුන් බවයි.

ඒ අනුව එම සැකකරුවන් සිව්දෙනා මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ත්‍රිකුණාමලය වරාය පොලිසියට නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදුකර නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහ භටයින් 10 දෙනෙක් පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා අධිකරණයට හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී මෙම නාවික හමුදාවේ සාමාජිකයින් 12 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් වෙත ඉදිරිපත් කිරීම සඳහා මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර සිටිය බවයි 

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාවික හමුදාවේ සාමාජිකයින් වෙනුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කරුණු දක්වා සිටිය අතර ඒ අනුව අද සවස් කාලයේදී ඔවුන් ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.