Tuesday, April 16, 2024

General line - 0115112241

සෞදියේ ඉන්ධන පිරිපහදු දෙකකට "ඩ්‍රෝන" ප්‍රහාරයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ




සෞදි රජය යටතේ ක්‍රියාත්මක Aramco සමාගමට අයත් ප්‍රධාන පෙලේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් වෙත ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

සෞදියේ Abqaiq සහ Khurais යන ප්‍රදේශවල පිහිටි මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙක වෙත එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග විශාල ගින්නක් හටගෙන තිබු අතර මේ වන විට එම තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවීමේ ඒකක සමත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ.

මිට පෙරද සවුදියේ ගුවන් තොටුපලවල් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ලවූ අතර එම ප්‍රහාරයන් ඉරානයේ සහය ලබන හුදී කැරලිකරුවන් විසින් එල්ල කළ බවට සෞදි අරාබිය චෝදනා කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් එල්ල කරනු ලැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා සෞදි රජය ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2006 වර්ෂයේදී ද අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම සිය බෝම්බකරුවන් යොදා ගනිමින්  Abqaiq හි පිහිටි ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට දැරූ උත්සහයක් සෞදි ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කිරීමට සමත්විය.