Saturday, April 20, 2024

General line - 0115112241

අනුමැතියකින් තොරව දුන් සුරාසැල් බලපත්‍ර ගැන මුදල් ඇමති වාර්තාවක් ඉල්ලයි 




තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ වෙත නියෝග කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් සිදු කල යුතුයි.

නමුත්, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින් සුරාබදු බලපත්‍ර 10 ක්ද 2018 වසරට බලපත්‍ර 74 ක්ද නිකුත් කර ඇත. ඒ සඳහා සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන වල සඳහන් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගෙන හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් සිදු නොකිරීමෙන් බව සඳහන්.

සුරාබදු ආඥා පනත යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් අවශ්‍යම යැයි තීරණය කළ අවස්ථාවකදී හේතු දැන්වීමකින් තොරව සුරාබදු බලපත්‍රයක් ප්‍රධානය කිරීමට, අලුත්කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

2017 හා 2018 වසර වලදී මෙසේ අමාත්‍යවරයාව දැනුවත් කිරීමකින් තොරව ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව පරීක්ෂණයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ නියෝගය පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ සඳහන් කරනවා.

සුරාබදු පනතේ විධිවිධාන පරිදි සුදුසුකම් නොමැති අයට බලපත්‍ර ලබාදී ඇත්නම් නැතහොත් බලපත්‍ර ලබාදීමේදී යම් දූෂණයක් සිදුව ඇති බවට මෙම පරීක්ෂණවලදී තහවුරු වුවහොත් එවන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව නිෂ්පාදනාගාර බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පලවී ඇති මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියි. මෙම වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියි.