Saturday, April 20, 2024

General line - 0115112241

එජාප ඡන්ද පදනම මත පමණක් අපට ජයග්‍රහණය කරන්න බැහැ. ජනාධිපතිවරණය ජයගැනීමට සෙසු මිතුරු බලවේගවල සහය දිනා ගැනීම අනිවාර්යයි - අගමැති රනිල් වික්‍රමසිංහ




"ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ගන්නට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට මම කීවේ දිනන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මත පමණක් අපට ජයග්‍රහණය කරන්නට බැහැ. ඒ නිසා පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සෑම අපේක්ෂකයෙකුටම මා ප්‍රකාශ කළා. ඒ සියළු කරණා සලකා බලා අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කරනවා" යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියි.

අගමැතිවරයා මෙම අදහස් පළ කොට ඇත්තේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (15) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී.

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න මෙහිදී නියෝජිතයන්ගේ අවධානයට ලක්වූ බවද එමෙන්ම 2015 ජනාධිපතිවරණයේදී එකඟ වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ජනවර්ග ප්‍රශ්නයට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් ලබා දීම යන ප්‍රධාන ඉල්ලීම් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න ගැන ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

"මෙම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බවත්, එමෙන්ම ඉදිරියේදී ගොඩනගන ආණ්ඩුවකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අත්‍යවශ්‍ය බව" සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල නා හිමියන් සඳහන් කර ඇත්තේ.

"විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන සටන් පාඨය මත පුළුල්ව සන්ධානය ගොඩ නැගිය යුතු බවත්, ඒ සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට කෙටි කලක් තුළ එම කටයුත්ත සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බව " මෙහිදී පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර ඇත. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, රාජා උස්වැටකෙයියාව, ආචාර්ය ජෙහාන් පෙරේරා, ප්‍රියදර්ශනී ආරියරත්න ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.