Tuesday, April 23, 2024

General line - 0115112241

වැටලීමකට ගිහින් වැඩ වරද්දගත් පොලිස් නිලධාරීන් 08කගේ වැඩ තහනම්




හලාවත පොලිස් මූලස්ථානයට අනියුක්තව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ හලාවත පොලිස් මූලස්ථානයට අනියුක්තව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකුයි.

ලද තොරතුරක් මත අදාළ පොලිස් නිලධාරීන් පිරිස විසින් වෙන්නපුවේ පිහිටි හෝටලයක මුදල් ඔට්ටුවට සූදු කී‍්‍රඩාවේ යෙදී සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයේ සිටි සැකකරුවන් 20කට වැඩි පිරිසකගෙන් සැකකරුවන් 09 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදා හැර සූදු පිටියේ තිබූ මුදල් හා සැකකරුවන් සතුව තිබූ මුදල් අයථා ලෙස ලබා ගැනීමේ චෝදනාව මත මෙම නිලධාරීන් පිරිසගේ වැඩතහනම් කර තිබෙනවා.