Thursday, April 25, 2024

General line - 0115112241

හොර පාරෙන් ජපානයට පනින්න හැදු ඉරාන පියපුතු කටුනායකදී අත්අඩංගුවට 

ටී.කේ.ජී.කපිල - කටුනායක




කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත් එතැනින් ඕස්ට්‍රේලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය පුතු දෙපළක් ඊයේ (16) දින රාත්‍රීයේදී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

51 හැවිරිදි මෙම ඉරාන ජාතික පියා එරට මල් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින අයෙකු වන අතර ඔහුගේ 15 හැවිරිදි පුතා තවමත් ඉරානයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින්නෙක් බවයි හෙළිවී ඇත්තේ.

ඔවුන් දෙදෙනා පසුගිය 14 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඊයේ  දින රාත්‍රී 7.30 ට ජපානයේ, නරීටා බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ විගමන කවුළුව වෙත පැමිණ සිටියදී ඔවුන් ඉදිරිපත් කළ වීසා බලපත්‍ර වල වෙනස්කම් කීපයක් දුටු එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා මොවුන් වහාම ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. එහිදී මෙම වීසා බලපත්‍ර ගුවන් තොටුපළ පිහිටා ඇති දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇත. එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලින් අනතුරුව වීසා බලපත්‍රයක තිබිය යුතු සියුම් තාක්ෂණික ආරක්ෂක උපක්‍රම මෙම වීසා බලපත්‍ර වල නොතිබුණු බැවින් මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බව අනාවරණයවී ඇත.

තවදුරටත් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී අපහැදිලි ගුවන් ගමන් මාර්ග සහිත ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් ද ආගමන විගමන නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී ඇත.

මොවුන් දෙදෙනා ජපානයේ සිටින තම මිතුරෙකු මගින් ඕස්ට්‍රේලියාව වෙත යෑම සදහා තමන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙම කටයුතු සදහා මොවුන් ඉරාන ජාතික තැරැව්කරුවෙකුට රුපියල් හත් ලක්ෂයක් පමණ ද ගෙවා ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු අනාවරණය කර ගැනීමට සමත් වීය.

ඒ අනුව මෙම ඉරාන ජාතික පිය පුතු දෙපළ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට ආගමන විගමන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.