Saturday, April 20, 2024

General line - 0115112241

සෞදි ප්‍රහාරය මුල් කරගෙන අමෙරිකාව ඉරානය සමග ගැටීමේ සුදානමක්

දිනුක් හේවාවිතාරණ




සිය ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙක ඉලක්ක කර ගනිමින් එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් වන වගකීම ඉරානය විසින් භාර ගත යුතු බව සෞදි අරාබිය පවසනවා. සෞදි අරාබියේ යුධ හමුදා කර්නල්වරයෙක් වන ටුර්කි අල්-මල්කි සඳහන් කලේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශන වලදී හෙළිවී ඇත්තේ මෙම ප්‍රහාරයට යේමනයේ සිට එල්ලවී නැති බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශන වල හෙළිව වන සියලු කරුණු ඉදිරියේදී හෙළි කිරීමට සෞදි රජය සුදානම් බවයි  යුධ හමුදා කර්නල්වරයා කියා සිටියේ.

මේ අතර ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කළාද යන්න සම්බන්ධයෙන් සෞදි රජු හෝ ඔහුගේ පුත් වන මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ  දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් කර නොමැත. ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කලේ මෙම ගැටළුව හේතුවෙන් ඉරානය සහ සෞදිය අතර ඇතිවිය හැකි ගැටළුව නිසා ගල්ෆ් කළාපයේ දැඩි අර්බුධයක් පැන නැගීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කවුරුන්ද යන්න ගැන සෞදිය නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකරන තුරු තමන් බලා සිටින බවයි. " අපි සියල්ල සුදානමින් සිටින්නේ.. රියාද් වලින් මෙම ප්‍රහාරයේ සත්‍යතාවය කුමක්ද යන්න ගැන ප්‍රකාශයක් සිදුකරන තුරු අපි බලා සිටිනවා" යැයි ජනාධිපති ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම අතර ඉරාන ජනාධිපති Hassan Rouhani සඳහන් කර සිටින්නේ මෙම ප්‍රහාරය යේමනය විසින් සිදුකර ඇත්තේ සෞදි අරාබිය විසින් ඔවුන්ගේ රට තුල සිදුකරනු ලබන යුධ මෙහෙයුම් වලට දැක්වූ ප්‍රතිචාරයක් බවයි. කෙසේ වෙතත් සෞදියේ ඉන්ධන පිරිපහදු දෙකට එල්ලවූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඉරානය පවසන්නේ.

සෞදි අරාබියට එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට අමෙරිකාව සුදානම් බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර සිටියත් එය කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ද යන්න ගැන මේ දක්වා හෙළිකර නොමැති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.