Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශයේ උණුසුම මධ්‍යයේම චීනයේ ශ්‍රී ලංකා තනාපති අද අගමැති හමු වේ

හේමන්ත කහවලගේ




චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මෙම හමුව පැවැත්වෙන්නේ නෙළුම් කුලූණ ඉදි කිරීමේදී රුපියල් කෝටි 200ක මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති පසුබිමකයි.

අදාල ප‍්‍රකාශය සහ නෙළුම් කුලූණේ ඉදි කිරීම් සම්බන්ධයෙන් චීනයේ ශී‍්‍ර ලංකා තානාපති සහ අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර නෙළුම් කුලූණ ඉදි කිරීමේදී මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුද ප‍්‍රකාශ කර තිබෙනවා.

රුපියල් කෝටි 200ක වංචාවක් සිදු වූ බවට තොරතුරු එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බව ඔහු සඳහන් කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එලෙස මූල්‍ය වංචාවක් සිදු ඇත්නම් නෙළුම් කුළුන විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට ජනාධිපතිවරයාට ඉඩ තිබූ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයාගේ මතය වී ඇත්තේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය පදනම් කර ගනිමින් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස් මූලස්ථානයට ඊයේ (17) පැමිණිල්ලක් ද ගොනු කළා. 

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ නෙළුම් කුළුණේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදලක් චීන සමාගමකට ගෙවා ඇති බවයි. කෙසේවෙතත් පසුව අදාළ සමාගම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති බව ද ජනාධිපතිවරයා කියා සිිටියා. 

ජනාධිපතිවරයා කළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ හැකි බවයි විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ද ඊයේ ප‍්‍රකාශ කළේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය, නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව සිදු කළ ප‍්‍රකාශයක් බවයි.