Saturday, April 20, 2024

General line - 0115112241

අල්ලස් ඉල්ලන රාජ්‍ය නිලධාරීන්ට වෙඩි තබන්නැයි පිලිපීන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා අල්ලස් අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරියෙකුට හෝ සේවකයෙකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට් සිය රට වැසියන්ට පවසනවා. එහෙත් කිසිඳු නිලධාරියෙකු ඝාතනය නොකරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.

ජනාධිපති ඩුටර්ට් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේ බටාන් ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. බදු ගෙවීම වැනි ඕනෑම කටයුත්තකදී රාජ්‍ය ආයතන සමග ඍජුව කටයුතු කරන ලෙසත් එවන් අවස්ථාවක යම් කිසි නිලධාරියෙකු අල්ලසක් ගැනීමට තැත් කළහොත් කම්මුල් පහරක් එල්ල කරන ලෙසත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එවන් අවස්ථාවක තමන් සතුව ගිනිඅවියක් තිබුණහොත් පාද කොටසට වෙඩි තබන ලෙසයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල වන අවස්ථාවක අදාළ පුද්ගලයා අල්ලස් ලබා ගැනීමට උත්සහ කළ බව ඔප්පු කලහොත් එවන් අවස්ථාවක පරිවාස නිලධාරියෙකු වෙත ප්‍රකාශයක් ලබාදීම ප්‍රමාණවත් බවත් සිරගත නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. එසේම දූෂිත රාජ්‍ය නිලධාරියෙකුට ජීවිත හානියක් සිදු නොකර වෙඩි තබන ඕනෑම අයෙක් තමන් විසින් ආරක්ෂා කරන බවයි පිලිපීන ජනාධිපතිවරයා කියා සිටියේ.