Thursday, April 25, 2024

General line - 0115112241

සෞදියේ ආරක්ෂාවට අමෙරිකාව සිය හමුදා යවන්න තීරණය කරයි 

දිනුක් හේවාවිතාරණ




සෞදි අරාබියට සිය හමුදාවන් යැවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඒ දිගින් දිගටම සෞදියේ ඉන්ධන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ලවනු ලබන ප්‍රහාර හේතුවෙන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රකාශ කර සිටියේ සෞදි අරාබියට ආරක්ෂක හමුදාවන් පිටත් කර හැරීම ස්වභාවිකව සිදුවන කාර්යයක් බවයි. එමෙන්ම මේ දක්වා යවනු ලබන හමුදා භට පිරිස් සංඛ්‍යාව කොපමණද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

ඉරානයේ ආධාර ලබන යේමනයේ හුදී කැරලිකරුවන් විසින් පසුගිය සතියේදී සෞදියේ පිහිටි ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකළා. මේ ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව සහ සෞදිය සෘජුව චෝදනා එල්ල කරනු ලැබුවේ ඉරානයටයි.

මේ අතර ඊයේ (20) දිනයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ඉරානයේ මහ බැංකුවට එරෙහිව සම්බාධක පැනවීමට  නියෝග කරනු ලැබූ අතර ඇතිවිය හැකි යුධමය තත්ත්වයන් වලක්වා ගත යුතු බවටද ප්‍රකාශ කර සිටියා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ප්‍රකාශ කර සිටියේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් අමෙරිකානු සහය ඉල්ලා සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් එම රටවල් දෙකෙහි ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි. එමෙන්ම එම රටවල් දෙකට අවශ්‍ය යුධ උපකරණ ලබාදීමට ද අමෙරිකාව පියවර ගන්නා බවටද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඉරානයට එරෙහිව යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාවක් තිබේද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටිය අතර එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මේ මොහොතේදී අමෙරිකාව එවැනි ස්ථාවරයක නොමැති බවයි.