Thursday, April 25, 2024

General line - 0115112241

තමන්ගේ රටේ යුද්ධයක් වෙනවා දකින්න කැමති රටක් මුලින්ම පහර දෙන්න : ඉරානය ලෝකයටම අභියෝග කරයි 

දිනුක් හේවාවිතාරණ




ඉස්ලාමිය ජනරජයට පහර දෙන ඕනෑම රටකට භයානක ප්‍රතිපල අත්විදීමට සිදුවෙනු ඇති බව ඉරාන විප්ලවවාදී හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා වන හුසෙයින් සලාමි අනතුරු අඟවා තිබෙනවා. ඉරානයේ, ටෙහෙරාන් අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. 

තමන්ගේ භුමිය යුධ පිටියක් වනවා දකින්නට කැමති කවුරුන්ද, ඔවුන්ට මුලින්ම ඉදිරියට ඇවිත් අපට පහර දෙන්න. අපි කිසිවිටක ඉරාන භුමිය ආක්‍රමණය කිරීමට කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ. ඉරානයට එරෙහිව යුධ ක්‍රියා මාර්ගයක් ගනිමින් අමෙරිකාව වැරැද්දක් කරගනු ඇති බවට තමන් බලාපොරොත්තු නොවන බව මෙහිදී ඉරාන විප්ලවවාදී හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සිය හමුදා බල ඇණි පිටත් කර හැරීමට බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කර ඇති අවස්ථාවේදී ඉරාන විප්ලවවාදී හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාරයන් හේතුවෙන් එම රටවල් දෙකෙහි ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකාවෙන් සිදුකළ ඉල්ලීමක් මත මෙම භට පිරිස් යොමු කරන බවයි අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා ප්‍රකාශ කර සිටියේ සීමිත ආක්‍රමණයක් වුවත් තමන් එය සීමිත ලෙස නොසලකන බවත්, අවසානය දක්වා ආක්‍රමණිකයින් හඹා ගොස් ඔවුන් විනාශ කරන බවයි.

යේමනයේ හුදී කැරලිකරුවන් විසින් සෞදියේ ඉන්ධන පිරිපහදු දෙකක් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරානය ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර ඉරානයේ මහ බැංකුවට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (20) සම්බාධක පැනවීම මගින් සිය රටේ පුරවැසියන්ගේ ආහාර සහ ඖෂධ ලබා ගැනීමට ඇති මාර්ගයන් අහුරා දැමීමක් ලෙස සලකන බවයි ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. ඔහු ප්‍රකාශ කර සිටින්නේ අමෙරිකාව මෙවැනි ක්‍රියා මාර්ගයකට පෙළඹී සිටින්නේ ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්වීම හේතුවෙන් බවයි.

අමෙරිකාව තවදුරටත් ලෝකයේ වෙළද බලවතා නොවන බවත් සිය රටෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින රටවල් රැසක් ඇති බවට ඔවුන් වටහාගනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉරාන විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.