Wednesday, April 24, 2024

General line - 0115112241

හදිසි කැබිනට් රැස්වීමේදී සිදුවූ දේ ජනපති හෙළි කරයි 

දිනුක් හේවාවිතාරණ




විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීම තමාගේ අවශ්‍යතාවයක් මත නොව එය අගමැතිවරයාගේ අවශ්‍යතාවයක් මත සිදුවූවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ අද (21) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින්ය.

පසුගිය බ්‍රහස්පතින්දා අලුයම තමන්ට අමාත්‍ය රවී කරුණානායක දුරකථන ඇමතුමක් ලබා දෙමින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා දෙන ලෙස ඉල්ලීමක් සිදුකළ බව මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ. එහිදී තමන්ට එවැනි හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම සඳහා ඉල්ලීම සිදුකළ යුත්තේ අගමැතිවරයා බව තමන් අමාත්‍ය රවී කරුණානායකට දැනුම් දුන් බවයි. 

එහිදී අගමැතිවරයා විසින් කැබිනට් කාර්යාලයට සංදේශයක් යොමු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව එහි ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව අගමැතිවරයා විසින් ඒ පිළිබඳව සිදුකළ ඉල්ලීම සලකා බලමින් තමන් පස්වරු 3.00 ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ බවත් එහිදී අගමැතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව යොමු නොකරන ලෙස කැබිනට් කාර්යාලයේ ලේකම්වරයාට ප්‍රකාශ කරන අයුරු දුටු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එහිදී අගමැතිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිදුකළ කෙටි අදහස් දැක්වීම අවසන් වනවා සමග එහිසිටි සුළු පක්ෂ නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඇමතිවරුන් ගෙන් දැඩි විරෝධයක් එල්ලවූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඉල්ලා සිටීම විහිළුවක් බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. තමන් සෑමවිටකදීම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන ප්‍රකාශ කලත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කිසිදු උනන්දුවක් නොවූ බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.