Thursday, April 25, 2024

General line - 0115112241

විසඳුමකට එන්න 'රනිල්-සජිත්' අදත් සාකච්ඡා කරයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (22) පස්වරුවේ පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ, ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව මෙහිදී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙන බවයි.

ඊයේ (21) දිනයේද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි නලින් බණ්ඩාර මන්තී‍්‍රවරයා පැවසුවේ. මීට පෙර ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර මෙවැනි සාකච්ඡාවක් පැවති අතර එය ද අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීම සිදු කළ යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව නොව, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ එකඟතාව මත පමණක් බවයි එහි පසුපෙළ මන්තී‍්‍ර කණ්ඩායම දිගින් දිගටම සඳහන් කර සිටියේ. 

මේ අතර අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලද එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් යටිනුවර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පළ කළා. එහිදී සඳහන් කළේ අපේක්ෂකයා තෝරා ගැනීමේ කටයුතු සාමකාමීව සිදුවෙනු ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තෝරාගත යුතු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායකද අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙනු ඇති බවයි.

ජාතික හෙළ උරුමය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍ර කණ්ඩායමේ මතය අනුව එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගත යුතු බවයි. තමන්ට ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිබඳ සැකයක් පවතින බවයි ජාතික හෙළ උරුමය මෙහිදී කියාසිටියේ. 

කෙසේ වෙතත්, අමාත්‍ය රවී කරුණානායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ සුළු පක්ෂ කුමන මත දැරුව ද එක්සත් ජාතික පක්ෂය නිසි වේලාවට සිය ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කරන බවයි.