Saturday, April 20, 2024

General line - 0115112241

ගුරුකන්ද නායකහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට බාධා (PHOTOS)

මාධව කුලසූරිය




මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීම මුලතිව් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ආදාහනය නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.

ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද (22) උදෑසන අදාළ අධිකරණ නියෝගය ලැබුණු බවයි.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බව දායක සභාවේ ලේකම්වරයා පැවසුවා.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බව විහාරස්ථාන දායක සභාව පැවසුවා.

අදාළ අධිකරණ නියෝගයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර පරිශ්‍රය / කෝවිල් පරිශ්‍රය තුළ ආගමික වතාවත්වලට අගෞරව වන ආකාරයෙන් කිසිඳු සිදුවීමක් නොකළ යුතු බව වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල  නමැති කෝවිලක් ඇති කිරීමට පසුගිය සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබු අතර, අදාළ නඩු විභාගය අනතුරුව වවුනියාව මහාධිකරණය දක්වා මාරුකරනු ලැබුවා.

වර්තමානයේදී විහාර භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ‍ගොනු කොට පවතිනවා.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමට පවා ගැටළුවක් ඇති වු අතර, ගැටළුව හේතුවෙන් විහාරස්ථානයේ දායක සභාව හා තමන් වහන්සේද මහත් අසරණ වී ඇති බවයි විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන්ද පැවසුවේ.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන්ට පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බවද නයාරු ප්‍රදේශවාසීන් පවසනවා.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබුණා.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමෙන් අනතුරුව විහාරස්ථානය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තරකොට ඇති බව මුලතිව් පොලිසිය ද පැවසුවා.