Thursday, April 25, 2024

General line - 0115112241

එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ

සජිත් තිලකරත්න/තරංග රුක්ෂාන්




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව මේ සතිය තුළ ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

බොහෝදුරට එම තීන්දුව ඉදිරි පැය 72 තුළ ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ප‍්‍රකාශ කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගන්නා බවයි. කෙසේවෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන නිශ්චිත දිනයක් ද මෙතෙක් ප‍්‍රකාශයට පත්වී නැහැ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු අවධාරණය කළේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි. 

කෙසේවෙතත්, අමාත්‍ය පී හැරිසන් ද ඊයේ ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයක් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකින් ද තොරව ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බවයි. අවසන් තීන්දුව ලබන බදාදා ප‍්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. 

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායකගෙන් ද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විමසා සිටියා. ඔහු ද එහිදී අවධාරණය කළේ අපේක්ෂකක්ව අර්බුදය අනිද්දා වනවිට අවසන් කරන බවයි. 

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද නෙත් නිවුස් වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයට පත් කරන බවයි. 

එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.

කෙසේවෙතත්, එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බවයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පසුව ප‍්‍රකාශ කළේ. කතානායක කරු ජයසූරිය මහතා ද, ජනාධිපති අපේක්ෂකත්ව නම් අතර සිටින බව මීට පෙර වාර්තා වුණා.

කෙසේවෙතත්, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප‍්‍රකාශ කළේ ඉකුත් සති අන්තයේදී ජනාධිපති අපේක්ෂකත්වයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ නම ඉවත් වී ඇති බවයි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතා සහ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර හමුවක් අද දිනයේ පැවැත්වෙනු ඇති බවට ද වාර්තා පළ වනවා.