Saturday, April 20, 2024

General line - 0115112241

මුලතිව් ගුරුකන්ද හිමිගේ ආදාහන පුජෝත්සවය ගැන අධිකරණ තීන්දුව අද

මාධව කුලසූරිය/තරංග රුක්ෂාන්/සජිත් තිලකරත්න




මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ, මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.  

පෙරවරු 09ට විහාරාධිකාරී හිමියන් ඇතුළු දායක සභාවේ නියෝජිතයින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

එහිදී ලැබෙන තීන්දුව අනුව ආදාහන පූජෝත්සවය සැලසුම් කිරීමටයි දායක සභාව තිරණය කර ඇත්තේ.

කෙසේවෙතත්, දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය එම විහාරස්ථානයේදී අද පස්වරු 02ට පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.

එහෙත්, අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ආදාහන පුජෝත්සවය සිදු නොකරන්නැයි මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ නිකුත් කළ නියෝගය මත ආදාහන පුජෝත්සවය සිදු කිරීම මේවනවිට ගැටලූකාරී තත්ත්වයකට පත්ව ඇති බව විහාරාධිකාරී පූජ්‍ය මිහිඳුපුර රතනදේව කිත්ති හිමියන් ප‍්‍රකාශ කළා. 

කෙසේවෙතත්, මහා සංඝරත්නය ඊයේ චෝදනා කළේ දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත පොලීසිය වැරදි තොරතුරු වාර්තා කිරීම හේතුවෙන් ආදාහන පුජෝත්සවයට බාධා සිදුව ඇති බවයි. පවතින අර්බුදය සම්බන්ධයෙන් මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 
 

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප‍්‍රදේශයේ දෙමළ ජනතාව මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය අදාළ නියෝගය ලබා දෙන්නේ එම පැමිණිල්ල මතයි.  

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල නමැති කෝවිලක් ඇති කිරීමට ඉකුත් සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කර තිබුණා.

විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින්ගෙන් විහාරාධිපති නාහිමියන්ට කලක් තිස්සේ විවිධ බලපෑම් එල්ල තිබූ බවයි විහාරස්ථ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න සදහන් කළේ.
 

මේ අතර මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් ඊයේ පස්වරුවේ කෝවිල් ප‍්‍රරිශ‍්‍රයට පැමිණ තිබුණා. ඒ, මතුව ඇති අර්බුදය පිළිබඳ සොයා බැලීමටයි.