Wednesday, April 24, 2024

General line - 0115112241

නිල්වලා, කළු, ගිං ගංඟාවල ජල මට්ටම් තවත් ඉහළට

ටී කේ මහින්ද/රවින්ද්‍ර චන්ද්‍රලාල්/ලලිත් චාමින්ද/කසුන් කැළුම්/ලහිරු කපුගේ




නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

මාතර දිස්ති‍්‍රක්ක ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ  "මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයේ වර්ධනයක් මේ වන විට දක්නට ඇති බවයි. පානදුගම ජල මාපකයේ ජල මට්ටම 6.78 දක්වා වර්ධනයවීමක් ඇති බවද සඳහන් කළා. මාතර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, වැලිපිටිය සහ වැලිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවද සඳහන් කළා." යනුවෙනි.

ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබද සොයා බැලූ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ "හිනිදුම, උඩුගම, නාගොඩ සහ වඳුරඹ ආදී ප්‍රදේශවල ඊයේ ඇතිව තිබූ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් බැසගෙන යන තත්ත්වයක් දැකිය හැකියි. කෙසේවෙතත් මේ වන විට බද්දෙගම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ අනුව බද්දෙගම වඳුරඔ මාර්ගයේ පුහුල්දූව හංදිය, ගනේගම සහ තවත් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වී පවතිනවා. එහි රථවාහන ධාවනය මුලුමනින්ම අඩාල වී ඇති බවත් වාර්තා වෙනවා." යනුවෙනි.

මේ අතර කළු ගඟ මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශි‍්‍රත ප‍්‍රදේවල සුළු ගංවතුර තත්ත්වයක් හටගන ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ගංඟා දෙපස සිටින ජනතාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුව ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල සියළු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු පළාත් ආණ්ඩුකාවරයා ඊයේ (23) තීරණය කළා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාතී‍්‍ර කාලය දක්වා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්‍ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ධීවර සහ නාවික ප‍්‍රජාවද විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

මේ අතර ගිංගඟේ ජලය ගලා එන හෝළුවාගොඩ ඇළ පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත්බිම් හා වගාබිම් ජලයෙන් යටවී තිබුණා. එම නිසා අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි අප වාර්තාවකරු සඳහන් කළේ.