Friday, March 29, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැති සුළු පක්ෂවලින් රජයට එරෙහි විශ්වාසභංගයක් ගේන්නැයි ඉල්ලයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාර්ලිමේන්තුව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැරදි සහගත බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. ජාතික වශයෙන් මතභේදයක් පවතින අවස්ථාවක දේශපාලන ප‍්‍රශ්නයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීම සුදුසු නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා ඊයේ (25) පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කළේ. 

සති 05 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය වැරදි බව බි‍්‍රතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කළා.

ඒ අනුව කතානායකවරයා විසින් ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව කැඳවු අතර අග‍්‍රාමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට විරෝධය පළ කළේ එම අවස්ථාවේදීයි. 

මේ අතර මහමැතිවරණයකට එළඹීම සඳහා සිය රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලෙසට ද අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුළු පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.

කෙසේවෙතත් ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සහ ස්කොට්ලන්ත ජාතික පක්ෂය පවසන්නේ එකඟතාවයකින් තොර බ්‍රෙක්සිට් ගිවිසුම ඉවත් කරගන්නා තුරු මහමැතිවරණයක් සඳහා සහය ලබා නොදෙන බවයි.

එසේම අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි එම පක්ෂ චෝදනා කරන්නේ. කෙසේවෙතත් දේශපාලන අර්බුධයක් පවතින පසුබිමකදී ඔක්තෝම්බර් 31 වැනිදා බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතයි.