Friday, April 19, 2024

General line - 0115112241

හබරණ රක්ෂිතයේ ඛේදවාචකය : මියගිය ඇතින්නියන් 07 දෙනෙකුගේ සිරුරූ හමුවේ (PHOTOS / VIDEO)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල 




හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. අද (28) දිනයේදී ද තවත් මල සිරුරූ තුනක් හමුවූ බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

ඊයේ (27) දිනය වන විට වන මිය ගිය අලින් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර අද අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කලේ. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ට වීමට සඳහා උත්සාහ කරන අයුරුද දැක ගන්නට හැකි විය.

සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා තවදුරටත් සිදුකරන මෙහෙයුම් අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිළධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල  තිබී එයාකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටියා.

මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරමින් සිටියි. කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කරනු ලැබුවා.

දැනට හමුවූ  මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක් වන අතර මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියි.

මෙම සතුන් මිය යෑමට හේතුව පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.

තවත් මියගිය අලින්ගේ සිරුරූ  ඇත්දැයි සොයා තවදුරටත් පොලිසිය, වනජීවී නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව රක්ෂිතයේ මෙහෙයුම් දියත් කර සිටියි.