Friday, March 29, 2024

General line - 0115112241

කැරලිකරුවන්ගේ අනපේක්ෂිත ප්‍රහාරයක් : සෞදි හමුදාවේ දහස් ගණනක් අත්අඩංගුවට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සෞදි අරාබියේ නිරිතදිග දේශසීමාව ආසන්නයේදී දියත් කළ ක්ෂණික මෙහෙයුමකින් සෞදි හමුදාවට අනියුක්ත සෙබළුන් දහස් ගණනක් සිය භාරයට ගැනීමට හැකිවූ බවත් ඒ අතර සෞදි යුධ හමුදාවේ නිලධාරීන්ද සිටින බව යේමනයේ හුදී කැරලිකරුවන් සඳහන් කර සිටිනවා. 

යේමනය සහ සෞදි අරාබියේ නිරිතදිග දේශසීමාව ආසන්නයේ පිහිටි නජ්රාන් ප්‍රදේශයේදී සිදුවූ මෙම පැය 72ක මෙහෙයුම සඳහා ඩ්‍රෝන, මිසයිල සහ ගුවන් ආරක්ෂක ඒකකයේ සහයෝගයද ලැබුණු බවයි හුදී කැරලිකරුවන් ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් සෞදි රජයෙන්, හුදී කැරලිකරුවන් සිදුකරන ප්‍රකාශයට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

යේමනයේ හුදී කැරලිකරුවන්ට සහය දක්වන Almasirah නම් රූපවාහිනී නාලිකාව සඳහන් කර සිටින්නේ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන සිටින දහස් සංඛ්‍යාත සෞදි හමුදාවේ සෙබළුන්ට අමතරව සිය ගණනක් වූ සන්නද්ධ හමුදා රථ ද තිබෙන බවයි.

දිගින් දිගටම යේමනයට එරෙහිව සටන් කරන්නේ නම් තම හමුදාවන්ට සෞදියේ පාලන ප්‍රදේශ වෙත ඇතුල්වී ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බවට මෙය උදාහරණයක් බවයි හුදී කැරලිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

මෙලෙස හුදී කැරලිකරුවන් විසින් අත්ඩංගුවට ගෙන සිටින සෞදි හමුදාවේ සිරකරුවන් හෙළි නොකරන ලද ප්‍රදේශයක ආරක්ෂා සහිතව රඳවා ඇති බවත් ඒ යම් හෙයකින් සෞදි අරාබියට පක්ෂපාති හමුදාවන් ගෙන් එල්ලවිය හැකි ගුවන් ප්‍රහාර වලින් ආරක්ෂා කර ගැනීම සඳහා බව හුදී කැරලිකරුවන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් හුදී කැරලිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ " අත්අඩංගුවේ පසුවන යුධ සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වලට සහතිකයක් ලෙස ඔවුන්ව හෙළි නොකරන ලද ප්‍රදේශයක රඳවා තැබීමට අවශ්‍ය පියවර ගත් බවයි".