Thursday, April 25, 2024

General line - 0115112241

වෙඩි ප්‍රහාරයකින් සෞදි රජුගේ ආරක්ෂකයා මරුට 

දිනුක් හේවාවිතාරණ




සෞදි අරාබියේ පාලකයා වන සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් රජුගේ ප්‍රධාන ආරක්ෂා වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙලෙස මියගොස් ඇත්තේ මේජර් ජනරාල් අබ්දුල්-අසීස් අල්-ෆාග්ම් යන රාජකීය ආරක්ෂකයායි.

ජෙඩා හි පිහිටි සිය මිතුරෙකු ගේ නිවසේදී සිටියදී  මිතුරෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු එම පුද්ගලයා නිවසින් පිටව ගොස් යලි තුවක්කුවක් රැගෙනවිත් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සෞදි පාලකවරයාගේ රාජකීය ආරක්ෂකයා පසුගිය සෙනසුරාදා දහවල් මියගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු වීමෙන් එම නිවෙස් හිමියා ඇතුළුව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර ඇති බවයි සෞදි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට ලඟාවී ඇති අතර එහිදී තුවක්කුකරු පොලිසියට යටත් වීමට ප්‍රතික්ෂේප කොට ඇත. එහිදී ඇතිවූ වෙඩි හුවමාරුවකින්  Mamdouh bin Meshaal bin Ali නම් සැකකරු මියගොස් ඇත.

මේජර් ජනරාල් අබ්දුල් අසීස් වත්මන් සෞදි පාලකයාගේ ආරක්ෂකයා මෙන්ම හිටපු පාලකයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කර ඇති අතර ඔහුව එරට හඳුන්වනු ලබන්නේ "රැකවල් දුතයා" යන අනවර්ථ නාමයෙන් බවයි සෞදි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මුස්ලිම් සම්ප්‍රදායට අනුව ඉකුත් සෙනසුරාදා සවස රාජකීය ආරක්ෂකයා වූ මේජර් ජනරාල් අබ්දුල්-අසීස් අල්-ෆාග්ම් ගේ අවසන් කටයුතු මක්කම ආසන්නයේ පිහිටි සුසාන භූමියේදී සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.