Saturday, April 20, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨයින් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ සුපිරි ජයක් ලබයි

කසුන් කැලුම්




ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් නොමැතිව ලොව අංක එකේ පන්දුවාර 20 කණ්ඩායම වන පාකිස්තානය පරාජය කිරීමට දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.

ඒ, දෙරට අතර ලාහෝර් නුවර, ගඩාෆි කී‍්‍රඩාංගනයේ පැවැති පළමු පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලකුණු 64 කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 05 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා.

ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා පිළට වේගවත් ආරම්භයක් ලබාදුන් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු සබඳතාව 84 ක්. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක් සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 33 ක් රැස්කළා. භානුක රාජපක්ෂ ලකුණු 32 යි.

මෙම තරගයේදී පාකිස්තානු වේගපන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් හස්නයින් ශ‍්‍රී ලංකාවට එරෙහිව කඩුළු ති‍්‍රත්වයක් වාර්තා කළ අතර ඔහුට එය සැමරීමට අමතකවීම කැපී පෙනුණා.

ලකුණු 166 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමේ මුල් කඩුළු 03 ලකුණු 22 ක් තුළ බිඳදැමීමට ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුණා.

නුවන් ප‍්‍රදීප් සහ ඉසුරු උදානගේ විශිෂ්ඨ පන්දුයැවීම හමුවේ පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 17 යි, පන්දු 4 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 101 ක් පමණයි. ඉසුරු උදාන සහ නුවන් ප‍්‍රදීප් මෙහිදී කඩුළු 03 බැගින් දවාගැනීමට සමත්වුණා. 

මෙම ජයග‍්‍රහණය වාර්තාවූයේ ශ‍්‍රී ලංකාව, පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජයගත් පන්දුවාර 20 යි 20 තරගය ලෙසයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 කි‍්‍රකට් ජයක් වාර්තාකළේ වසර 06 කට පසුව වීමද විශේෂත්වයක්. ශ‍්‍රී ලංකා - පාකිස්තාන දෙවන පන්දුවාර 20 තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී හෙට (07) පැවැත්වීමට නියමිතයි.