Saturday, April 20, 2024

General line - 0115112241

ආර්ථික හා ආයෝජන වර්ධනය සඳහා කාර්යක්ෂම බලශක්ති අංශයක වැදගත්කම 




“ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා කාර්යක්ෂම බලශක්ති අංශයක වැදගත්කම පිළිබඳ ප්‍රතිපත්ති කථිකාවත" යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සංවිධානය කල "2019 බලශක්ති සමුළුව" පසුගියදා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්වුණා. 

ඉදිරි වසර 20 තුළ විදුලිබල ඉල්ලුමේ 4.5% ක වාර්ෂික වර්ධනයක් පුරෝකථනය කර ඇති අතර එම කාලය තුළ ස්ථාපිත විදුලිබල ධාරිතාව මෙගාවොට් 10,854 දක්වා වැඩි කළ යුතුව තිබෙනවා. බලශක්ති අංශයට ආයෝජන ආකර්ෂණය කරගැනීම මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අභියෝගයක්වී ඇති බවයි පෙන්වා දෙන්නේ. 

කාර්යක්ෂම බලශක්ති අංශයක් ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආයෝජන වර්ධනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදෙනු ඇති. එසේ, නිසි ප්‍රතිපත්ති රාමුවක් සහ ශක්තිමත් නියාමන යාන්ත්‍රණයක් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති. 2019 බලශක්ති සමුළුවේදී මෙම අභියෝග ජයගැනීම සඳහා වු විසදුම් කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. 

"ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය සාධක ගණනාවකට සංවේදීය. ඒවායින් සමහරක් අප රටට ආවේණික බව පෙනීයයි. එබැවින් කාර්යක්ෂම බලශක්ති අංශයක් කරා යන ගමනේදී ලෝකයේ වෙනත් තැන් වල නොදන්නා අභියෝගයන්ට අපිට මුහුණ දීමට සිදු විය හැකිය. එවැනි පසුබිමක් තුළ, බලශක්ති සුරක්ෂිතතාව, පරිසර හිතකාමීත්වය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහතික කරන කාර්යක්ෂම බලශක්ති අංශයක් ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් අතර සංවාදයක් ගොඩනැගීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.” ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කිත්සිරි එම්. ලියනගේ බලශක්ති සමුළුව අමතමින් මේ බව පෙන්වා දී තිබුණා.

2019 බලශක්ති සමුළුවේ සාකච්ඡා මණ්ඩපය සභාපති වශයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය විසින් දරනු ලැබීය. ලර්න්ඒෂියා ආයතනයේ ආරම්භක සභාපති සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, ඉන්දියාවේ මධ්‍යම විදුලිබල නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රමෝද් ඩියෝ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපති මහාචාර්ය සිරිමල් අශෝක අබේරත්න, ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා, වෙරිටේ රිසර්ච් හි විධායක අධ්‍යක්ෂ සහ පර්යේෂණ ප්‍රධානී සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජික නිශාන් ද මෙල් යන පිරිස් සාකච්ඡා මණ්ඩපයේ සෙසු සාමාජිකයින් වශයෙන් සහභාගි වුණා. 

රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තිකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙම පිරිස අතර දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විශේෂඥයින්, කර්මාන්තකරුවන් සහ රජයේ නිලධාරීන් ද වුණා. විදුලිබල කර්මාන්තයේ බාධක සහ ඉඩ ප්‍රස්ථා, විදුලි බල කර්මාන්තය සඳහා ලෝකයේ වෙනත් රටවල ආයෝජන ප්‍රවණතා සහ රටේ ආර්ථික වර්ධනය හා ආයෝජන ප්‍රවර්ධනය සඳහා කාර්යක්ෂම බලශක්ති අංශයක බලපෑම පිළිබඳව පුළුල්ව මෙම වසරේ සමුළුවේදී සාකච්ඡා කෙරුණා. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉදිරියේදී සකස් කරනු ලබන ප්‍රතිපත්තිමය උපදෙස්, රෙගුලාසි සහ රීතිවලට මෙහිදී මතුවූ කරුණු හා යෝජනා ඇතුලත් කිරීමට සැලසුම් කෙරෙනවා.