Friday, March 29, 2024

General line - 0115112241

"දෙවන පෙළ කණ්ඩායමක් ලෙසයි අපිව සැළකුවේ" - ජයග්‍රහණයෙන් පසු තරගයේ වීරයා වූ භානුක කතා කරයි

කසුන් කැලුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් ලබාගැනීමට තමන්ට වසර 10 ක් බලා සිටීමට සිදුවූ බව පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (07) පැවති තරගයේ වීරයා වූ භානුක රාජපක්‍ෂ පවසනවා.

ඊයේ තරගයේදී ඔහු පන්දු 48 කදී ලකුණු 77 ක් රැස් කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින්. ඊයේ ලද ජයග‍්‍රහණයෙන් පසු භානුක රාජපක්‍ෂ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

"මට ජාත්‍යන්තර වරම් ලබා ගන්න වසර 10ක් බලං ඉන්න වුණා. පාසල් අවදියේ සිට මට මේ තත්ත්වයට එන්න ගොඩක් කට්ටිය උදව් කළා. මට විශ්වාසයක් තිබුණා කොයි වෙලාවෙ හරි අවස්ථාවක් ලැබෙයි කියලා. මට ලැබිච්ච අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා. මම විශේෂයක් කළේ නෑ. මගේ සුදුරුදු රිද්මයෙන් තමයි පන්දුවට පහර දුන්නේ.දෙවන පෙළ කණ්ඩායමක් විදිහට තමයි අපිව සැළකුවේ. ජාත්‍යන්තරයෙත් තත්ත්වය එසේම වුණා. නමුත් මම හිතනවා අපි ලංකාවටත් කණ්ඩායමටත් ගෞරවයක් වන සේ ක්‍රීඩා කළා කියලා."

ශි‍්‍ර ලංකා - පාකිස්තාන 3 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී හෙට (09) පැවැත්වෙනවා.