Thursday, April 25, 2024

General line - 0115112241

ගුරුකන්ද නායක හිමිගේ ආදාහනය ගැන පැමිණිල්ල විභාග වෙයි

මාධව කුලසූරිය




මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය අධිකරණ නියෝගයන්ට එපිටින් ගොස් මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ ආදාහනය කිරීමට විරුද්ධව කෝවිලේ පාලක සභාව වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලයට සිදුකළ පැමිණිල්ල ඊයේ (08) විභාගයට ගැණුණා.

මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව හා මුලතිව් පොලිස් නිළධාරීන් කැඳවමින් අදාළ පැමිණිල්ල විභාගයට ගැණුනා.

කෝවිලේ පාලක සභාව එහිදී පැමිණිලි කොට තිබුණේ අධිකරණ නියෝගයට එපිටින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා සිංහල ජනතාව නයාරු නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල සීමාවේ නයාරු විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් හා  පොලිසිය විසින් එහිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර දෙන ලෙසයි.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි  යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් අගෝස්තු 23 වැනිදා නියෝග කර තිබුණා.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශ්වය වෙත උපදෙස්දෙනු ලැබුවා.

කෙසේ නමුත් සංඝ සභාව විසින් ‍දේහයේ විහාර සීමාවේ අදාහනය කිරීම සිදු‍කෙරුණා. ඊට විරුද්ධව ප්‍රදේශයේ දෙපාර්ශ්වය අතර යම් නොසන්සුන්කාරි තත්වයක්ද හට ගැණුනා.

නයාරු ගුරුකන්ද විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව දේහය අධිකරණ නියෝගයට එපිටින් ආදාහනය කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ විරෝධතා රැසක්ද පසුගිය සමයේ පැවැත්වුණා.

වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාල නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවේ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි.