Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී මුඛය ගැන සජිත් සමාව ඉල්ලයි

දිනුක් හේවාවිතාරණ




තමාගේ අතින් සිදුවූ අත් වැරැද්දකට සමාව ඉල්ලන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය මංගල ජනාධිපති රැලිය අමතමින් ප්‍රකාශ කර සිටියා.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා,

ආරම්භයේදීම මම සමාව ඉල්ලනවා. මගේ කතාවකදී මගේ අතින් කියවුනා මගේ මුඛයට ශ්‍රී මුඛ්‍ය කියලා. මගෙන් වූ ඒ වැරද්දට ගරුතර සංඝයාවහන්සේලා ගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අඩුපාඩුව මට තේරුම් ගියා. මම වැරැද්දක් උනා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ කකුල් දෙක ලඟට ඇවිල්ලා සමාව ඉල්ලන්න මේ සජිත් ප්‍රේමදාස කවදාවත් පැකිලෙන්නේ නැහැ.

මේ අව්වේ දුක් විදිමින් ජනතාව ඇවිල්ලා සිටිනවා. මම හිතනවා ඔබලාගේ කකුල් දෙක ලඟට ඇවිල්ලා ස්තුතිය පුද කරන්න. නමුත් මේ අවස්ථාවේදී මට ඒකට ඉඩක් නැහැ. මම මෙතන ඉදලා ඔබලාට මාගේ ස්තුතිය පුදකරනවා.

මේ රටේ ජාතිභේදයකින්, කුල භේදයකින් තොරව මම ඔබලා සියලු දෙනාට අවශ්‍ය දේ ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මම ඔබලාගෙන් අහන්න කැමති රට ඉල්ලන්නේ රට ගොඩනගන නායකත්වයක්ද නැත්නම් රට විනාශ කරන නායකත්වයෙක්ද කියලා.

පවුල්වාදය, මිල්ටරිවාදය කරපින්නා ගත්ත පාලනයක් මේ රටට අවශ්‍ය නැහැ. මා පොරොන්දු වෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජනතාවගේ හඬ දිනවන බවට මම පොරොන්දු වෙනවා කියලා.

මේ අලුත් දශකයේදී ලෝකයේ අංක එකේ රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕන. මානවාදී රටක්, සුභවාදී රටක් බවට ලංකාව පත් කරන්න ඕන. පොදු ජනතාව සෞභාග්‍ය උදාකරන රටක් බවට ලංකාව පත් කරන්න ඕන. ධිවර, කම්කරු, ගොවි, මධ්‍යම පාන්තිකයින් දිනවන රටක් බවට ලංකාව පත් කරන බවට මම පොරොන්දු වෙනවා.

අපේ රටේ අනාගතය තීරණය කරන්න ඕන වලව්වක් ඇතුලේ ඉන්න එක් පවුලක් නෙමේ. එය සිදුකරන්න ඕන රටේ සාමාන්‍ය ජනතාව, තරුණ සහ කාන්තා පරපුර මෙන්ම පංච මහා බලවේගයි රටේ අනාගතය තීරණය කරනන් ඕන.

අපේ බලාපොරොත්තුව අපේ රටේ මෙතෙක් කල් සිදුනොවුනු සංවර්ධනයක් මේ රටේ සිදුකරන්නයි අපේ බලාපොරොත්තුව. අපේ රට අභිමානවත් දේශයක් බවට පත් කරන්නයි අවශ්‍ය. අපේකමත් රකින සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕන. අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ හොරකමට, වංචාවට ඉඩ තියන්නේ නැහැ. රාජ්‍ය දේපල වලට අත තියන්නේ නැහැ.

කවුරු හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලාගෙන ඉන්නවානම් දුෂණය, වංචාව ප්‍රචලිත කරලා අපේ රටේ සම්පත කොල්ලකන්න බලාගෙන ඉන්න අය ඉන්නවානම් මම කියනවා ආණ්ඩුහදන එක පැත්තක තියලා ගෙදර යන්න කියලා.

නැහැ බැහැ කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න ඕන. පොදු ජනතාව අපිව තනතුරුවලට පත් කර ගන්නේ ඔවුන් වෙනුවෙන් සේවය කරන්නයි. මේ රටේ සියලු දෙනාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඔබලාගේ සහයෙන් කටයුතු කරන්න මේ සජිත් ප්‍රේමදාස සුදානම්.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදී භේද නොතකා ආරක්ෂා කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. මේ රටේ දක්ෂ තරුණ පරපුරක් සිටිනවා. මේ රටේ තරුණ පරපුරේ කීකරු සේවකයා වෙන්න මේ සජිත් ප්‍රේමදාස කැමති. මේ රටේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් බවට පත් වෙලා සිටිනවා. ඒ තරුණ පරපුරට නව අදහස් වලට සැලකිල්ල ලබා දෙමින් ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේ කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා.

තරුණ පරපුර සමග ඉදිරියේදී ගිවිසුමක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. එය නෛතික ගිවිසුමක්, ඔවුන්ට කාගෙන්වත් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ කාන්තා පරපුර ඉතාමත් උසස් ලෙස සලකනවා. අපේ මව්වරුන් විදේශ විනිමය උපයලා රටට ලබාදෙන විදේශ විනිමය ගැන ආඩම්බරයෙන් කතා කරනවා.

අපේ රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් ඇති කරනවා. කාන්තාවන්ට පැය 24 තුලදීම ආරක්ෂාව ලබාදෙන ක්‍රමවේදයක් ඇති කරනවා.

ඒ වගේමයි ගොවින් සමගත් අපි ගිවිසුමක් ඇති කරනවා. කටට එන විදිහට පොරොන්දු මේ සජිත් දෙන්නේ නැහැ. ගොවින් වෙනුවෙන් සහතික මිලක් ලබා දෙන්න වගේම ඔවුන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් සාදන්න කටයුතු කරනවා.

අද වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා ජාතික ආරක්ෂාව කියනදේ ගැන. මම ඔබලාට කියනවා ජාතික ආරක්ෂාව ගැන වගකීම දෙන්න ඕන සෝබනකාරයින්ට නෙමෙයි. එකේ වගකීම දෙන්න ඕන යුද්ධය සමග ඉදලා ජයග්‍රහණය කරපු ඒ විශිෂ්ඨ පුද්ගලයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට කියලා මේ සජිත් ප්‍රේමදාස කියනවා. එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමයි. එතුමා සැබෑ වීරයෙක්.

මම බලන්නේ වැඩකාරයින් එකතු කරගෙන වැඩ කරන්න. ඒකයි මේ සජිත් ප්‍රේමදාසගේ වැඩ කටයුතු සිදුකරන්නේ.

අපි කවදාවත් දේශපාලඥයින්ට ජම්පර් අන්දවන්නේ නැහැ. ඒ ජම්පරේ අන්දවන්නේ අධිකරණයයි.

මේ නුතන ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අපි කටයුතු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. අපේ සරත් ෆොන්සේකාට ත්‍රස්තවාදය විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්න සුවිශේෂී පියවරක් ගන්න ඕන.

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මම කියනවා ඔබලා එළියේ කුඩු විකුනලා බන්ධනාගාර ගත්වුවාට පසුව එතන ඉදලා ආපහු ඒ දේ සිදුකරනවානම් ඔවුන්ට විරුද්ධව දෙන්න පුලුවන් උපරිම දඬුවම දෙන්න අපි පියවර ගන්නවා.

මේ රටේ ආර්ථික සංකල්පය ගොඩනගන්න විශේෂඥයින්ගේ මැදිහත්වීමෙන් නව යුගයක් බිහිකරන්න කටයුතු කරනවා. කිසිදු පත්වීමක් දේශපාලනය පදනම් කරගෙන දෙන්නේ නැහැ. සුදුස්සාට සුදුසු තැන දෙනවා. සමෘද්ධියට අමතරව දුප්පත් ජනතාව එතනින් මුදවන අලුත් සහන පැකේජයක් ලබා දෙනවා.

ඒ වගේමයි දහම් පාසල් අධ්‍යාපනය දියුණු කරන්න කටයුතු කරනවා.

අපේ ප්‍රතිවාදීන් මගෙන් අහනවා මට ශක්තිය තියෙනවද කියලා. මගේ ශක්තියෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගත්තා. මගේ ප්‍රතිවාදියාට අපේක්ෂකත්වය ලබා දුන්නේ බන්දේසියේ තියලා. මා වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මට තිබ්බේ දුෂ්කර ගමනක්.

අපේ දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න වරම ලබා දෙන්න කියලා ඔබලා සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.