Thursday, April 25, 2024

General line - 0115112241

නිවසක් මතට ගසක් කඩා වැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු 03ක් මරුට (PHOTOS)

ප්‍රේමලාල් රත්නායක




වැලිමඩ නගරයට යාබදව ඇති වැලිමඩ ප‍්‍රාදේශිය සභාවට අයත්  පැරැණි ගොඩනැගිලි භුමියේ ඉදිකර තිබෙන තාවකාලික කමිකරු නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරණයට පත්ව එක් අයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහා රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මෙම අනතුර ඊයේ (12) රාත‍්‍රී 9.30 ට පමණ සිදුව ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 

මෙසේ නිවස මතට ගසක් කඩාවැටිමෙන් මරණයට පත්ව ඇත්තේ ජී. සුරංජනී (19) එම්. රාමක‍්‍රීෂ්ණ(13) හා සුපුන් කුමාර (10) යන තිදෙනායි. බරපතල තුවාල ලබා බදුල්ල මහා රෝහලේ ප‍්‍රථිකාර ලබනුයේ එම්.මහේන්ද්‍රන් (15) යන අයයි.

වහා ක‍්‍රියාත්මක වු වැලිමඩ පොලිසියේ නිළධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව ගසට හා නිවසට යටව සිටි පුද්ගලයින් බේරා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් ගෙන කටයුතු කල අතර ඒ වන විටත් වයස අවුරුදු දහයක සහ දහ තුනක පිරිමි ළමයින් දෙනෙකු මිය ගොස් සිටි අතර නිවසට යටව සිටි වයස අවුරුදු දහ නවයක කාන්තාවක මුදා ගෙන වැලිමඩ මූලික රෝහලට ගෙන යෑමට කටයුතු කළ අතර එහිදී එම කාන්තාවද මිය ගොස් තිබෙනවා. 

මෙම ගසට හා නිවසට යටව සිටි තවත් පිරිමි පුද්ගලයෙකු බේරා ගැනීමට ප‍්‍රදේශවාසින්ට හැකිව තිබෙන අතර ඔහු ප‍්‍රතිකාර සඳහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

වැලිමඩ ප‍්‍රාදේශිය සභා පැරැණි සභා ගොඩනැගිල්ල භුමියේ පදිංචි එම්. මහේෂ්වරන් (23) සඳහන් කළේ "මෙම අනතුරින් මරණයට පත්ව සිටින සුරංජනී මගේ බිරිඳයි. මරණයට පත් අනෙක් දෙදෙනා රාත‍්‍රිය ගත කිරීමට නිවසට පැමිණි ඥාතින් දෙදෙනායි. අපි රාත්‍රිරයේ කැම කාලා නිදා ගත්තා. එකවරම නිවසට ඉහලින් තිබුන විශාල ගසක් මුලින්ම ගැලවී ඇඳ වැටුනා. කඩා වැටුණු නිවසට යටව සිටි මා ඇතුලූ 06 නා අවට පදිංචිකරුවන් පිටතට ගෙන වැලිමඩ රෝහලට ඇතුලත් කළා." යනුවෙනි.
    
මෙම භූමියේ කම්කරුවන් හා බාහිරින් පැමිණි පිරිසද සමග පවුල් 30ක් පමණ පදිංචිව සිටිනවා. කලක් කැළිකසල ගොඩ ගසා ඇති මෙම භූමිය නාය යෑමට ඉඩ ඇති බවද එහි පදිංචිකරුවන් සඳහන් කරනවා.

වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ සභාපති එස්. ඒ. ආර් බන්දුසේන කියා සිටියේ "අපගේ සභාවට අයත් නගරයේ පැරැණි ගොඩනැගිලි භුමියේ පදිංචි කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සභාවට අයත් සුදුසු ඉඩමක මෙම පිරිස පදිංචි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඇතැම් ස්ථානවල මොවුන් පදිංචි කිරීමට අදාල ප‍්‍රදේශවල ජනතාව විරුද්ධයි. ඒ නිසා මෙම කම්කරු නිවාස ඉදිකිරිම ප‍්‍රමාදව තිබෙනවා. කම්කරුවන්ට අමතරව බාහිර පිරිස්ද මෙම භූමියේ අනවසරව පදිචිව සිටිනවා. මෙය නිසා ප‍්‍රාදේශිය සභාව ද දැඩි අසීරුවට පත්වෙලා තියෙන්නේ." යනුවෙනි.