Wednesday, April 24, 2024

General line - 0115112241

සුළි කුණාටුව නිසා ජපානයේ ජනතාවට තවදුරටත් පීඩා (PHOTOS)




හැගිබිස් සුළිකුණාටුව හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය තවදුරටත් දරුණු වන්නේ නම් සහන සේවා සඳහා අතිරේක හමුදා භටපිරිස් යෙදවීමට වුවද, තමන් සූදානම් බව ජපාන අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජලගැලීම් සහ නායයාම්වලින් විපතට පත්ව ඇති ප‍්‍රදේශවල සහන මෙහෙයුම් සඳහා මේ වනවිටත් 27,000 කින් යුත් හමුදා බලඇණියක් යොදවා ඇති පසුබිමක් තුළයි. 

සුළිකුණාටුවේ බලපෑමට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ද මේ වනවිට 33 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්ව ඇති පුද්ගලයින් ගණන 19 ක්.

ටෝකියේ අගනුවරට සහ නගානෝ නගරයට සුළිකුණාටුවෙන් සහ වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. නගර ද්විත්වයේම සැලකිය යුතු ප‍්‍රමාණයක් තවදුරටත් පවතින්නේ ජලයෙන් යටවයි. 

නායයාම්වලින් කඩාවැටුනු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම මෙන්ම ජල ගැලීම් හේතුවෙන් නිවාස තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමද තවදුරටත් කි‍්‍රයාත්මකයි. ඒ සඳහා විශේෂ බෝට්ටු සේවා සහ හෙලිකොප්ටර් යානා ද යොදවා ඇතැයි සඳහන්. එලෙස ජලගැලීම් හේතුවෙන් සිරවී සිටි 70 හැවිරිදි කාන්තාවක් මුදාගැනීමට උත්සහ දැරීමේදී ඇය හෙලිකොප්ටරයකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ගතවු දින කිහිපයේදී පමණක් ජපානයේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් සියයට 40 ක ප‍්‍රමාණයක් ඇදහැලී ඇතැයි එරට කාලගුණ අංශ පැවසුවා. වගාබිම් විනාශ වූ ගොවීන් පවසන්නේ මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක් මීට පෙර බලපා නොමැති බවයි. 

මේවනවිට ප‍්‍රබලත්වය අඩුවෙමින් ඇති හැගිබිස් සුළිකුණාටුව ඉදිරි පැය කිහිපයේදී ජපානයේ හොක්කයිදෝ දූපත දෙසට හමා යනු ඇතැයි අපේක්ෂිතයි. පිලිපීන භාෂාවෙන් වේගය යන අරුත ඇති හැගිබිස්, වසර 60කට පමණ පසුව ජපානයට බලපෑ දරුණුතම සුළිකුණාටුව ලෙස සැලකෙනවා.