Tuesday, April 23, 2024

General line - 0115112241

සුළි කුණාටුවට සහන පතා ආ පුද්ගලයෙකු හරවා යැවීමේ සිදුවීම "පාර්ලිමේන්තුව" දක්වා යයි




හැගිබිස් සුළිකුණාටුවෙන් විපතට පත්ව සිටින සෑම පුද්ගලයෙකු හටම සහන කඳවුරුවල දොරටු විවෘත විය යුතු බව ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ අවධාරණය කළා. ඒ, අද (15) පැවැති ජපාන පාර්ලිමේන්තු සැසිවාරයේදීයි. අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේගේ මෙම ප්‍රකාශයට හේතුවූයේ හැගිබිස් සුළිකුණාටුවෙන් ආරක්ෂාවීම සඳහා, සහන කඳවුරකට පැමිණි පුද්ගලයෙකු එම කඳවුරේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. 

මෙම සිදුවීම වාර්තාවුණේ ජපානයේ ටෝකියෝ අගනුවරින්. හැගිබිස් සුළිකුණාටුවෙන් පීඩාවට පත්වූ ස්ථිර පදිංචියක් නොමැති 64 හැවිරිදි පුද්ගලයෙකු ආරක්ෂාව පතා අගනුවර පිහිටි සහන කඳවුරකට පැමිණ තිබෙනවා. එහිදී සිය නම සහ ලිපිනය විමසූ අවස්ථාවේදී අගනුවර ස්ථිර ලිපිනයක් නොමැති හෙයින් අදාළ පුද්ගලයා හරවා යැවීමටයි සහන කඳවුරේ බලධාරීන් කටයුතු කර තිබුණේ. 

තමන් ටෝකියෝ අගනුවරට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි හොක්කයිදෝ දූපතේ පදිංචිකරුවෙකු බවත්, එහි ලිපිනයක් ඇති බවත් පැවසුවමුත් ඔවුන් තමා ඉවතට දැමූ බවටයි ඔහු චෝදනා නගන්නේ. ඒ අනුව ආරක්ෂිත ස්ථානයක් නොලැබුණු හෙයින් කුණාටුවේදී කුඩයක ආධාරයෙන් ගොඩනැගිල්ලක් යට සිටි බව ඔහු ප්‍රකාශ කළා. ස්ථිර පදිංචියක් නොමැති මෙවැනිම තවත් පුද්ගලයෙකු අදාළ සහන කඳවුරේ බලධාරීන් විසින් හරවා යවා ඇති බව සදහන්.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධවීමත් සමග අදාළ සහන කඳවුරේ බලධාරීන් හට එල්ල වන්නේ දැඩි විරෝධයක්. රග්බි ලෝක කුසලානයක් රටේ පැවැත්වෙන පසුබිමක් තුළ මෙවැනි ක්‍රියා හේතුවෙන් විදේශීය ප්‍රජාව තුළ ද සිට රට සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව ජපන් වැසියන් පවසනවා.  

ජපානයට බලපෑ හැගිබිස් සුළි කුණාටුවෙන් මේවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 66 ක්. අතුරුදන්වූ පුද්ගලයින් ගණන 15 ක් වනවා.